මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2017 සිට 2020 අතර කාලයේදී විවිධ ව්‍යාපෘති වෙනුවෙන් යැයි කියමින් ලබා ගෙන ඇති රුපියල් මිලියන 8,000කට අධික මුදලක් අවභාවිත වී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට වත්මන් රජය බලයට පත් වූ පසු පත් කරන ලද වංචා දූෂණ විමර්ශන කමිටුව මඟින් අනාවරණය කරගෙන තිබේ.
මේ කාලයේදී සංස්කෘතික කටයුතු ඇමැතිවරයා වශයෙන් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර එකල මේ අරමුදලේ සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය ජූලි මාසයේදී විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී. එම්. ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව එම කමිටුව විසින් මේ අවභාවිතය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගෙන ඇතැයි බුද්ධශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා පෙරේදා (20) මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ප්‍රකාශ කළේය.
මහජන මුදල් අවභාවිත කළ සියලු පුද්ගලයන්ට එරෙහිව එම වාර්තාව ලැබුණු පසුව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය.
2017 සිට 2020 දක්වා වූ කාලසීමාවේදී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මූල්‍ය සහාය දීමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරු රැසක් වත්මන් රජය පත් වූ පසු අනාවරණය වී තිබිණි. එලෙස සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට පසුගිය මැයි මාසයේ පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වැනි පාලක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
ඒ අනුව අදාළ කාර්යය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය. මෙම ත්‍රිපුද්ගල කමිටුව පසුගිය ජූලි මාසයේදී ඒ අනුව පිහිටුවන ලදි.