සබරගමුව පළාත් සමුපකාර ව්‍යාපාරය මඟින් Rebuilding Sri Lanka අරමුදල සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කිරීම සිදු විය.
ඊට අදාළ චෙක්පත් රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත ඊයේ (29) ප්රදානය කරනු ලැබීය.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ විවිධ සේවා සමුපකාර සමිති, සණස සමිති සහ සමුපකාර ප්‍රාග්ධන සමිති එක්ව මෙම මූල්‍ය ප්රදානය සිදු කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙසේ පැවසූවාය.
“දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ආපදාවට ලක්වූවන්ට රජය විශාල සහන රැසක් ලබා දුන්නා. ඉතිහාසයේ සිදු නොවූ අයුරින් රජය සිය වගකීම් යුතුකම් මෙම ව්‍යවසනයට පත් ප්‍රජාව වෙනුවෙන් සිදු කළා.
රජය ඒ වෙනුවෙන් සහන සැලසුම් සහ විශාල ලෙස මූල්‍ය ප්‍රදාන සිදු කළා. Rebuilding Sri Lanka ගිණුමට බැර කරන මුදල් අවභාවිතාවට ලක් නොවෙනවා. සියයට සීයක් අවසාන ශතය දක්වා ඒ වෙනුවෙන් විශ්වාසය තැබිය හැකියි. ඒ නිසයි විශාල ලෙස මෙම ගිණුමට දෙස් විදෙස් මුදල් බැර වෙන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය ආපදාවට මුහුණදී ඇති ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු වේගවත් කරමින් සිටිනවා.
මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සුජීවා බෝධිමාන්න, සමුපකාර සංවර්ධන කොමසාරිස් නිෂාන්ත සමන් කුමාර, සබරගමුව පළාත් ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරී පුෂ්ප කුමාර දිසානායක මහත්වරු, සමුපකාර සමිතිවල සභාපතිවරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.