සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කළ පරිදි 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස දීමට නියමිතව තිබූ මූලික වැටුප් 05ක ප්‍රමාණය දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති සාමාජිකයෝ ගුවන් තොටුපොළ බුදු මැඳුර පරිශ්‍රයේදී ඊයේ (29) උද්ඝෝෂණයක නිරත වූහ.
මේ උද්ඝෝෂණයට ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවන් 500ක පමණ පිරිසක් සහභාගි වී සිටියහ. එහිදී පැමිණ සිටි විරෝධතාකරුවන් ඇමතූ ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා මෙලෙස පැවසුවේය.
“දැනට අපට 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප මෙන් දෙගුණයක් දී තිබෙනවා. නමුත් ගුවන් තොටුපොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් බිලියන 21ක් වෙනවා. ඒ අනුව අපගේ ඉල්ලීමට රජය අවධානය යොමු කර අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක මුදලක් සඳහා කැබිනට් අනුමැතිය දීමට පියවර ගන්න. එසේ නොවුණොත් ඉදිරියේදී අපේ අයිතිවාසිකම් දිනා ගැනීමට ගුවන් තොටුපොළ අකර්මණ්‍ය කරන ක්‍රම 16ක් තිබෙනවා. ඒ සඳහා යොමු වීමට ඉඩ ප්‍රස්තා තිබෙනවා.”