ජාතික ආපදා තත්ත්වය හමුවේ සහාය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රණාමය පිරිනැමීමේ උත්සවයක් නාවික හමුදාවෙන් ගාලු මුවදොරට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.
යුද නෞකා වෙතින් පිරිනමන ලද සාම්ප්‍රදායික යුද නෞකා ආචාරය පිළිගැනීම, ශ්‍රී ලංකා නාවික ගජබාහු නෞකාවේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව පැවති ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය වෙනුවෙන් මෙරටට පැමිණි විදේශීය යුද නෞකා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට ඇතිවූ ජාතික ආපදා අවස්ථාවේදී මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම්වලට එක්විය.
ÒSailing Strong-TogetherÓ ඒකාබද්ධ වීමෙන් සුරක්ෂිත තිරසර සාගර කලාපයක් යන තේමාව යටතේ සංවිධාන කෙරුණු මේ සාම්ප්‍රදායික යුද නෞකා නිරීක්ෂණයට සහභාගි වීමට බංග්ලාදේශ නාවික හමුදාවේ ‘PROTTOY’ යුද නෞකාව, ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා INS UDAYAGIRI යුද නෞකාව, ඉරානය නියෝජනය කරමින් IRIS NAGHDI යුද නෞකාව, මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ ‘CGS HURAVEE වෙරළාරක්ෂක නෞකාව, මැලේසියානු නාවික හමුදාවේ ‘KD TERENGGANU යුද නෞකාව, පාකිස්තානු නාවික හමුදාවේ ‘PNS SAIF යුද නෞකාව සහ රුසියානු නාවික හමුදාවේ ‘GREMY ASCHCHY යන යුද නෞකා අට 2025 නොවැම්බර් 27වැනි දින වන විට දිවයිනට ළඟා විය.
අනපේක්ෂිතව, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ජාතික ආපදා තත්ත්වය මත, දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු ආපදා සහන මෙහෙයුමට ශක්තියක් වෙමින්, දිවයිනට පැමිණි මේ යුද නෞකා වෙතින් මානුෂීය ආධාර ලබාදීම සිදු කෙරිණි. ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙතින් සහ පාකිස්තානු නාවික හමුදාවේ ‘PNS SAIF යුද නෞකාව වෙතින් හෙළිකොප්ටර් යානා යොදවමින්, ආපදාවට පත් පුද්ගලයන් සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම්වලට දායක විය.
ඒ ඒ රාජ්‍යයන් නියෝජනය කරමින් පැමිණි යුද නෞකා ප්‍රෞඪ නාවික හමුදා සම්ප්‍රදායන් පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවටත් ගෞරව දක්වමින්, යුද නෞකා නිරීක්ෂණයක් සඳහා සහභාගි වූවා පමණක් නොව, යුද නෞකා නිරීක්ෂණය සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග මෙන්ම, කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී, සාමූහික ප්රවේශයකින් කටයුතු කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාවය සහ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත්ව වර්ධනය කෙරුණු සුවිශේෂී අවස්ථාවක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ, බංග්ලාදේශ, ඉන්දීය, ඉරාන, මාලදිවයින්, මැලේසියා, පාකිස්තානු සහ රුසියානු මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක් වූ අතර, ශ්‍රී ලංකාවේ ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ ක්‍රියාත්මක කෙරුණු මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම්වලට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් එහිදී අගමැතිනිය විසින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් වෙත ප්‍රණාමය පළ කරනු ලැබුවාය.