අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා රඳවා තබා ඇති අමානුෂික තත්ත්වයට එරෙහිව දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ සුරේෂ් සලේ මහතා රඳවා සිටින සිරකුටිය අතිශය අපිරිසිදු සහ සෞඛ්යාරක්ෂිත නොවන මට්ටමක පවතින බවයි.
සලේ මහතා රඳවා සිටින කුටිය තුළ මීයන් පවා ඇඟ උඩින් දුවන තරමට අපිරිසිදු බවත්, ඔහු රාත්‍රියට නිදාගන්නේ බිමට පත්තර කැබැල්ලක් දමාගෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
සිරකුටිය අසලම දැඩි දුගඳක් හමන වැසිකිළියක් පිහිටා ඇති බවත්,මෙම “පාහර වැඩේ” තවදුරටත් බලා සිටිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් බවත් ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.