අල්ලන මත්ද්‍රව්‍ය ඒ මොහොතේම විනාශ කරන නීති ඉක්මනට හදන්න – ජනපතිගෙන් උපදෙස්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මණින් විනාශ  කිරීමට අදාළ  නීති සංශෝධන කඩිනම් කරන්නැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම් වල ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය බව කී ජනපතිවරයා අත්අඩංගුවට ගන්නා එම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම පිළිබඳ පොදු සමාජයට සහ මෙහෙයුම්හි නිරත කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද  (18)  ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය.

රට තුළ විවිධ අවස්ථාවන්හි සමාජ සහ ආර්ථික වශයෙන් විවිධ තත්ත්වයන් මතු වුවද එම කිසිදු අභියෝගයක් හමුවේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

විෂ මත්ද්‍රව්‍ය සැපයුම් සහ බෙදා හැරීම් ජාල බිඳ දැමීම, පුනරුත්ථාපන සහ අධිකරණ කටයුතු ශක්තිමත් කිරීම ඇතුළු සකස් කර තිබෙන වැඩසටහන් වේගවත්ව සහ අත්නොහැර ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ සමාජය සමඟ තිබෙන අඛණ්ඩ සංවාදයද පවත්වා ගනිමින් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහෙයවීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *