ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර තිබේ.
මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
පශ්චාත් ආපදා තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම
සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවද පැවසීය.
දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයේදී ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙතෙක් ලබා දෙනු ලැබූ ආධාර මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාව මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යමින් ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම වත්මන් රජයේ අපේක්ෂාව බව පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැකබලා ගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙහිදී සඳහන් කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා, මධ්‍යම කඳුකරයේ ජල පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාත්මක කළයුතු වැඩසටහන් සඳහා සහාය වීමට සූදානම් බවද පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Keiichiro Inui, සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Manisha Pradhananga යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ (විකල්ප) මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.