දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරෙන් මරණය පෙනි පෙනී සිටි 04 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට වෛද්‍ය යුවලක් සමත් වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම අතර අද (06) අලුයම නවතා තිබූ කන්ටේනර් රථය  සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබුණි. 

අනතුරින් රියදුරන් දෙදෙනා ඇතුළු සිව්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය සඳහන් කළේය. 

එම අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කඹුරුපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍ය කිත්මා ගුණරත්න හා ඇයගේ සැමියා වන දෙනියාය දෑරංගල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය වෛද්‍ය විද්ව කළුතොට මහතා අනතුර සිදුවූූ ස්ථානයට පැමිණ පැය දෙකකට අධික කාලයක් රැඳී සිට ජීවිත ගලවා ගැනීමේ සහ ගිනිනිවීමේ රාජකාරී නිරත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව අනතුරින් තුවාල ලද පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේ පුවතක් අද දෙරණට වාර්තා වුණි. 

කන්ටේනර් රථය ටයර් නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය තොගයක් පටවාගෙන කොළඹ සිට මිදිගම දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර, එහි පිටුපස රෝදයක හුළං බැසීම හේතුවෙන් එය මාරුකිරීම සඳහා දක්ෂිණ අධිවේගයේ නවතා රියදුරු විසින් රෝදය ගලවමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ සිමෙන්ති කුඩු මිශ්‍රණ ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක් පිටුපසින් ගොස් තිබුණි. 

අනතුර සිදුවූ අවස්ථාවේ දී සිමෙන්ති ප්‍රවාහනය කළ රථයේ ඉදිරිපස තිදෙනෙකු ගමන් කර ඇති අතර, අනතුර සිදුවූ විට ඔවුන් රථය තුළ සිරවී සිටි බව පොලීසිය පැවසීය. 

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රථය තුළ සිරවී සිටි පුද්ගලයින්ව වෛද්‍ය උපදෙස් මත එම ස්ථානයෙන් පිටතට රැගෙන ඔක්සිජන් ලබාදීමෙන් පසුව අනෙකුත් ප්‍රතිකාර සඳහා යුහුසුළුව යොමු කර තිබුණි.

රථයේ සිරවී සිටි රියදුරු එම ස්ථානයෙන් මුදාගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගතව තිබුණි. 

මේ හේතුවෙන් එක් මංතීරුවක් පැය 02කට ආසන්න කාලයක් වසා දැමීමට සිදුවූ බවත් රියදුරු පිටතට ගැනීමේදී පැය භා ගෙකට ආසන්න කාලයක් සම්පූර්ණ යෙන්ම මාර්ගය වසා දැමීමට සිදුවූ බව පොලීසිය පැවසීය.

තුවාලකරුවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *