හිටපු අමාත්‍යවරයකු වන සරත් වීරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නම් කරන බවට ප්‍රකාශයක් කර ඇති බවත්, මුජිබර් රහුමාන්, රිෂාඩ් බදියුදීන් පමණක් නොව හිජාස් හිස්බුල්ලා පවා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් බවට පත් කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මෙය කියා සිටියේ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
2020 කාලයේ පොලිස් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතා විසින් අද මුජිබර් රහුමාන් මහතා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස ප්‍රකාශයට පත් කළත්, එදා ඔහු මේ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද යන්න ප්‍රශ්න කරන බවත්, මුජිබර් රහුමාන් මහතාට IS සම්බන්ධතා ඇති බවත් ඒවා කොමිෂන් වාර්තාවල තිබූ බවට පවසන බවත්, එසේ නම් නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
මෙම විවේචනය එල්ල වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයට පත්වූ පොත සම්බන්ධයෙන් සිදු කරන ලද විවේචනය නිසා බවත්, වඳ සැත්කම් වඳ කොත්තු මූලික කර ගෙන ජාතිභේදය නැවත ඇති කරන්න උත්සාහ කරන බවත්, මේ අන්තවාදය රටට සුදුසු නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණත්වය ඉටු කළ යුත්තේ දේශපාලන ප්‍රතිරූප රැකගෙන නොව සත්‍යය මත කේන්ද්‍ර කර ගෙන බවත්, ජාතිවාදය මත පදනම්ව රට විනාශ කරන මේ දේශපාලනයට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.