අලුත් අවුරුදු සමය සඳහා රෙදිපිළි සහ උපාංග ආනයනය කිරීමට මෙම වර්ෂයේ මුල්මාස දෙකේ දී (ජන-පෙබ) ඇමරිකානු ඩොලර් මිලියන 49.3ක මුදලක් වැය වී ඇති අතර එය ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස දෙකට සාපේක්ෂව සියයට 2.3ක වැඩිවීමක් බැව් ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
ඉකුත් වර්ෂයේ මුල් මාස දෙකේ දී රෙදිපිළි සහ උපාංග ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 48.2කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව රෙදිපිළි සහ උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලක් වැඩිපුර වැය වී ඇත. මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ දී පමණක් රෙදිපිළි හා උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 27.5ක මුදලක් වැය කර තිබුණි.
එහෙත් සීනි සහ රසකැවිලි ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී වැය කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 32.3ක් වන අතර එය ඉකුත් වර්ෂයේ මුල්මාස දෙකට සාපේක්ෂව සියයට 62.6ක අඩුවීමක් බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි. කෙසේවුවද ඉකුත් වර්ෂයේ සීනි හා රස කැවිලි ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 86.4ක මුදලක් වැය කර තිබුණි.