පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී අනිද්දාට (21) වසර 7කි.
ඒ පිළිබඳ යුක්තිය කොතරම් දුරට ඉටු වී ඇද්ද යන්න පිළිබඳ සමාජයේ වෙනස් සංවාද ගණනාවක් තිබේ. ප්‍රහාරය පිළිබඳ මුල සිටම සියලු විමර්ශන භාර වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වූ අතර, ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට ඒ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ රවි සෙනෙවිරත්නය. අද වන විට ඔහු පොලීසිය භාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාය. මේ, පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන සහ එහිදී ඔහුගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ‘සිළුමිණ’ ඔහු සමඟ කළ සංවාදයකි.
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගන්න අවශ්‍ය කටයුතු කළේ නෑ කියලා රවී සෙනෙවිරත්නටත්, ශානි අබේසේකරටත් බරපතළ චෝදනාවක් නැඟෙනවා. ඒ අතර ඔවුන්ට මේ සිද්ධිය ගැන විමර්ශන වගකීමත් භාර දී තිබෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්…
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මුලින්ම සොයාබැලුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහත්තයගෙ ප්‍රධානත්වයෙන් තිබුණු කමිටුව. ඒ කමිටුවෙ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්තයත් හිටියා; තවත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුත් හිටියා. ඒකට අදාළ පාර්ශ්ව කැඳවලා ප්‍රකාශ ගත්තා. මාත් ගියා. ශානි අබේසේකර මහත්තයව කැඳෙවුවෙ නෑ. ඒ වාර්තාව එවකට ජනාධිපති මෛතත්රීපාල සිරිසේන මහත්තයට භාර දුන්නා. ඒකෙ අපිට කිසිම දෝෂයක් හෝ චෝදනාවක් නඟලා නෑ. මේ කමිටුවේ නිර්දේශයක් මත තමයි ප්‍රහාරය ගැන හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේ. ඒකටත් අපි ගියා. ඒකෙ අවසාන නිර්දේශ සහ ඒ වාර්තාවලත් අපට කිසිම චෝදනාවක් නෑ. මේ අතර 2019 ජූලි මාසෙ තිබුණා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඒකටත් අදාළ පාර්ශ්ව බොහෝ අය කැඳෙව්වා. මමත්, ශානි අබේසේකරත් සාක්ෂි දුන්නා. ඒකෙ අවසාන නිර්දේශවලත් අපට කිසිම චෝදනාවක් නෑ. අපේ රාජකාරිවල අඩුපාඩුවක් ගැනවත් සඳහන් කරලා නෑ.
ඊට පස්සෙ, ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයකට ආසන්න සංඛ්‍යාවක් ගොනු කළා. කැබිනට් මණ්ඩලය, පොලිස්පති ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් රැසක් ඒකෙ නම් කරලා තිබුණා. ඒ පෙත්සමේ තීන්දුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන්, ඇතැම් දේශපාලනඥයන් වරදකරුවන් බවට පත් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් තමයි මේ තීන්දුව දුන්නෙ. ඒ කියන්නෙ ෆුල් බෙන්ච් එකක්. ඒකෙනුත් ශානි අබේසේකරටවත්, මටවත් කිසිම දෝෂදර්ශනයක් නෑ.
උත්තරේ නම් පැහැදිලියි. ඒත් ගින්නක් නැතුවමද දුමක් නැඟලා තියෙන්නෙ…?
මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියන එක හරිම පැහැදිලියි. පෞද්ගලික රූපවාහිනී නාළිකාවකදි මම කිවුවා, මේකෙ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. 2023දි අසාද් මවුලානා කියලා චරිතයක් මේ ප්‍රහාරය ගැන, ප්‍රහාරය පිටිපස්සෙ කුමන්ත්‍රණයක් තිබුණු බව චැනල් ෆෝ නාළිකාවට කිවුවා. ඒ අවස්ථාවෙ තමයි මම රූපවාහිනී නාළිකාවෙදි මේක කිවුවෙ. මම කිවුවා එතැනදි, මේකෙ සහරාන්ට ඉහළින් පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඔන්න ඔතැනින් තමයි රවී සෙනෙවිරත්නයි, ශානි අබේසේකරයි ඉලක්ක කරන්න ගත්තෙ.
ඊළඟට 2024 ජූනි මාසෙ 9 වැනිදා අපි ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගි වුණා. ඊට පස්සෙ ජූනි 12 රනිල් වික්‍රමසිංහ එවකට ජනාධිපතිවරයා මේ චැනල් ෆෝ වීඩියෝව ගැන විමර්ශනය කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවෙන් මමයි, ශානියි වැරදිකරුවො කරලා තිබුණා. අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයටත් කරුණු දක්වලා තියෙනවා. බලමු ඉතින්.
කුලියාපිටියෙදි සහරාන්ව අත්අඩංගුවට ගන්න තිබුණු අවස්ථාවක් හිතාමතා මඟහැරියෙ ඇයි? ඒ චෝදනාවත් බරපතළයි…
සම්පූර්ණයෙන් අසත්‍යයක්. සහරාන් ඒ වෙලාවෙ ගෙදර හිටියෙ නෑ. අපේ කට්ටිය ගියා. තොරතුරක් තිබුණා තමයි. මේ ඔක්කොම චෝදනා ලත් තැනැත්තන් තමන්ගේ නිර්දෝෂිභාවය පෙන්වන්න සහ අප අහුකරන්න ගන්න උත්සාහයන්.
පොලීසිය භාර අමාත්‍යාංශයේ ලේකම් විදිහට ඔබ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ විදිහට ශානි අබේසේකර දේශපාලන අවශ්‍යතාවක් දෙසට මේ විමර්ශන මෙහෙයවනවා කියන එකට මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ…?
අපි දේශපාලනඥයන් පස්සෙ ගිහින්, ඔවුන්ගෙ වුවමනාවන් ඉටු කරලා තියෙනවද? කොතැනද එහෙම කරලා තියෙන්නෙ? නිකම් චෝදනා කරන්නෙ නැතුව, ඒවට අදාළ කරුණු පෙන්වනවා නම් හොඳයි. නිකම්ම නිකම් කතා විතරයි ඕවා.
මේ විමර්ශන මඟින් බුද්ධි අංශ කඩාවැටෙනවා, අකර්මණ්‍ය කරනවා, ඒක ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් කියන අදහස පුළුල් ලෙස මතු වනවා. සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැනත් වෙනම සංවාදයක් තිබෙනවා. ජනතාවට මේවා ගැන සැකයක් ඇති වන එක සාධාරණයි…
මේ රටේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න බුද්ධි අංශ අත්‍යවශ්‍යයි. බුද්ධි අංශ ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. මං ඒක අගය කරනවා. ඒක ඉතා ප්‍රශංසනීයයි. එහෙත් යම් නිශ්චිත කාලෙක බුද්ධි අංශවල යම් කණ්ඩායමක් දේශපාලන අරමුණු වෙනුවෙන්, ඒ අරමුණු මුදුන්පත් කරගන්න බුද්ධි රාජකාරි ආවරණයක් කරගෙන අපරාධවලට සම්බන්ධ වෙලා තියෙනවා.
සමස්ත බුද්ධි අංශවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීමක් හෝ බුද්ධි අංශ අකර්මණ්‍ය වීමක් නෑ. මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අර මම කියපු අපරාධ සිදුවීම්වලට අදාළවයි. මේක බුද්ධි අංශ පිරිසුදු කරගැනීමේ ප්රයත්නයක් සහ අපරාධවලට අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයක්. ඒක කළ යුතු එකක්.
ජාතික ජන බලවේගය ආණ්ඩුව මැතිවරණ ප්රචාරක වේදිකාවලදි දිගින් දිගටම කියපු කතාවක් තමයි, පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ගැන කතාව. ඇත්තටම මේකෙ මහමොළකරුවෙක් ඉන්නවද? මේ විමර්ශන එතැනට ගෙනියන්න පුළුවන් කියලා ඔබට යම් විශ්වාසයක් තිබෙනවද…?
මුලින්ම පැහැදිලිව කියන්න ඕනෑ කාරණය තමයි: විමර්ශනය ඉතා හොඳින් යනවා කියන එක. ඒ විමර්ශනයේ ප්‍රගතිය මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබෙනවා. මම විමර්ශනයට ඍජුව සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එහෙත් මට ලැබෙන වාර්තා අනුව විමර්ශන ඉතා හොඳින් සිදු වනවා.
ඔහොම කියපු විමර්ශන එක තැන නැවතුණු, සිද්ධ වුණු දෙයක් නැති වුණු කාලයක් අපි පහු කළා. මේක එහෙම කොතැනින්වත් නවතින එකක් නැද්ද…?
පැහැදිලිවම. මේක හරියට ඉස්සරහට යනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු අය ඉදිරියේදී අත්අඩංගුවට ගන්න කටයුතු කරයි.
මේ මහමොළකරු සම්බන්ධ ප්රශ්නය දැන් දේශපාලනිකව ජනප්‍රිය කතාවක් වෙලා. ඇත්තටම මේකෙන් බලපෑමක් සිද්ධ වෙන්නෙ ජනතා විශ්වාසයට. මේවා සැලසුම්සහගත වැඩද? ඇයි ඒවට නිවැරදි පිළිතුරු ලැබෙන බවක් හරියට පේන්නෙ නැත්තෙ…?
ඒ ගැන මට කියන්න තියෙන්නෙ: ඔබ කියන කාරණය හරි. ඇතැම් කණ්ඩායම් මේක ජනප්‍රිය කතාවක් කරගෙන. සමාජ මාධ්‍ය හරහා ඒවා සැලසුම් සහගතව කරන වැඩක් කියලා පැහැදිලිව පේනවා. විවිධ ප්රවෘත්ති පළ වනවා. මම ජනතාවට කියන්නෙ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රහාරය ගැන කරගෙන යන විමර්ශනය ගැන බලන්න. ඒක හරියට කෙරෙනවා.
මහාචාර්ය රොහාන් ගුණරත්න, උදය ගම්මන්පිල, පිල්ලෙයාන් වගේ අය මේ ගැන පොත් ලියා තිබෙනවා. ඒ පොත්වල විවිධ තොරතුරු පදනම් කර ගෙන ගොඩනඟන මත තිබෙනවා. ඔබ මොනවා කිවුවත්, සමාජගත වන මතය ඒක නේද එතකොට…?
මම ඔය අතරින් පොත් දෙකක් කියෙවුවා. පිල්ලෙයාන්ගෙ පොත කියවන්න ලැබුණෙ නෑ. රොහාන් ගුණරත්න මහත්තයගෙ පොත කියවලා ඉන්න කොට, ඔහු මුණගැහුණු අවස්ථාවක මම පැහැදිලිව කිවුවා, ඔයාගෙ පොතේ තියෙන්නෙ බොරු, මෙන්න මේකයි සත්‍ය කතාව කියලා. එතකොට මම විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. මම දන්න තොරතුරු මම ඔහුට කිවුවා. ඒකෙ කරුණුවල කිසිම පදනමක් නෑ. පිල්ලෙයාන්ගෙ පොත කියවන්න අවශ්‍ය නෑ නෙ. ඔහු දැන් සැකකරුවෙක්නෙ. ඒ වගේම ඔහු ගැන, ඔහු කරපු වැඩ ගැන අධිකරණයට ඉදිරිපත් වෙන කරුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ හරහාත් ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන අදහසක් ගන්න පුළුවන් නෙ.
වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය වන විට යුද හමුදාවේ නැඟෙනහිර ආඥාපති. ඔහුටත් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වනවා. ඔහුට අදාළ විමර්ශන ක්‍රියාත්මක වෙනවාද…?
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලදි නඟෙනහිර පළාතේ හිටපු හමුදා නිලධාරීන්ගෙන් ප්‍රකාශ අරගෙන තියෙන්නෙ. නියෝජ්‍ය ඇමැතිතුමත් ඒ කාලෙ නැඟෙනහිර පළාතේ හිටපු යුද හමුදාවේ ඉහළ නිලධාරියෙක්. එතුමත් ප්‍රකාශයක් දුන්නා. විමර්ශනවලට අදාළව ඉදිරි පියවර සිදු වෙයි.
ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසෙ ජනාධිපති ධුරයට පත් වුණාට පස්සෙ පාස්කු ඉරිදා ප්‍රහාර ගැන විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට සියල්ලන් මාරු කළා. ඔබ එතකොට ඒ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. ඔබ මෙතැනදි නිහඬව හිටියද…?
එතකොට මම විශ්‍රාම යන්න දින ගණනාවක් තමයි ඉතිරිව තිබුණෙ. ශානි අබේසේකර, ඒ කියන්නෙ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ස්ථාන මාරු කරන කොට මම එවකට හිටපු පොලිස්පතිගෙන් ඇහුවා, ඇයි මේ මාරු කරන්නෙ කියලා. මට දුන්නු උත්තරේ තමයි, ශානි යනවා, ඔතැනට තිලකරත්න එනවා කියලා. එච්චරයි. එතකොට හිතාගන්න පුළුවන් මේ කියන්නෙ මොකක්ද කියලා. කියපු විදිහටම තිලකරත්න කියන නිලධාරියා ආවා සීඅයිඩී අධ්යක්ෂ ධුරයට. ඔහු විමර්ශන ගැන පළපුරුද්දක් ඇති කෙනෙක් නෙමෙයි. ඔහු දිගටම කටයුතු කරලා තිබුණේ ජනාධිපති ආරක්ෂක අංශයේ. ඔහුත් එක්කම ජනාධිපති ආරක්ෂක අංශයේ සහ ඇමැති ආරක්ෂක අංශයේ තවත් නිලධාරීන් කණ්ඩායමක් සීඅයිඩියට අනුයුක්ත කළා.
ඊට පස්සෙ මට දැනගන්න ලැබුණා, සීඅයිඩී එකේ නිලධාරීන් හත්සිය හතරකට ගුවන් ගමන් තහනමක් පනවලා කියලා. මම තිලකරත්නගෙන් ඇහුවා, ඇයි එහෙම ගුවන් ගමන් තහනමක් දැම්මෙ කියලා. ඔහු මට පැහැදිලි පිළිතුරක් දුන්නෙ නෑ. එතකොට මගෙ යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්තට මම නියෝග කළා, ඒ ගැන විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. ඒ නිලධාරියා මේ විමර්ශනය ආරම්භ කරන කොටම ඔහුට වව්නියාවට ස්ථාන මාරු වීමක් ලැබුණා. ඒ කියන්නෙ පැහැදිලියි නේද වැඩ කටයුතු සිදු වුණු විදිහ. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විමර්ශනයට ඍජුවම සම්බන්ධ වෙලා හිටපු සීඅයිඩී එකේ නිලධාරීන් 22ක් තැන් තැන්වලට මාරු කළා. අර ගුවන් ගමන් තහනමට විරුද්ධව පොලිස් අධිකාරි රංජිත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළා. පැමිණිල්ල කරලා ඔහු සීඅයිඩී එකට එන කොට ඔහු පොලිස් මූලස්ථානයට මාරු කරලා. ඒ විදිහට තමයි පුදුම හදිසියකින් ඒ වැඩ එදා සිද්ධ වුණේ.
මේ කරුණු කියවන කොට ජනතාවට සැකයක් ඇති වෙන්න පුළුවන්, තවදුරටත් මේ විමර්ශන ඉදිරියට යන්න පුළුවන්ද කියලා, 2019 – 2024 කාලෙ ඔක්කොම සාක්ෂි විනාශ කරන්න ඇති නෙ කියලා හිතෙන්න පුළුවන්. එහෙම විනාශ කරපු ලිඛිත සාක්ෂි තිබෙනවාද…?
ඒ සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් ගැඹුරින් විමර්ශන කරනවා. යම් යම් සිද්ධි වෙලා ඇති කියලා මමත් හිතනවා. විශේෂයෙන්ම ගත්තොත්: සාරා ජස්මින්ගෙ සිද්ධිය සම්බන්ධයෙන් වගේ. වැදගත්ම කාරණය තමයි, 2019 නොවැම්බර් මාසෙ ඒ වෙනකොට විමර්ශනය කරපු නිලධාරීන් මාරු කළාට පස්සෙ 2024 නොවැම්බර් මාසෙ වෙන කල් මේ පිළිබඳ කිසිම විමර්ශනයක් සිදු වුණේ නෑ. ඔය කාලෙ ඇතුළෙ හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන් වගේ යම් යම් පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. මඩකලපුව පැත්තෙ ටයිම්කීපර් කෙනකුත් අත්අඩංගුවට ගත්තා. ඔහු මහමොළකාරයා කියලත් කිවුවා. ඒ වගේ විකාර වැඩ කළා මිස, නියමාකාර පරීක්ෂණයක් කළේ නෑ.
l2014 අලුත්ගම, දර්ගා නගරයේ සිදුවීමේ ඉඳලා මාවනැල්ල බුදු පිළිම සිදුවීම, වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, මේ සිද්ධි එකකට-එකක් සම්බන්ධයි කියලා සැකයක් තියෙනවා. ඒ ගැන තහවුරු වී තිබෙනවාද…?
පාස්කු ඉරිදා ප්‍රහාරය කියන්නෙ හුදෙකලා සිදුවීමක් නෙමෙයි; සිදුවීම් ගණනාවක් එක්ක දාමගත වුණු සිද්ධියක්. මේ පැටලිලි ස්වභාවයන් තියෙන තැන් විමර්ශන කණ්ඩායම් ලිහාගෙන යනවා. අපි විමර්ශන කණ්ඩායම්වලට ඉඩ දෙමු. ඊට පස්සෙ මේ සම්පූර්ණ කතාව මොකක්ද, කුමන්ත්‍රණය මොකක්ද කියලා ඔවුන් අධිකරණයට කියයි. අපි එතකල් බලාගෙන ඉඳිමු.
මේ කුමන්ත්‍රණ කතාවත් එක්ක විපක්ෂයේ විවිධ පාර්ශ්ව කියන්නේ දේශපාලන අරමුණු එක්ක ඉලක්ක කරලා පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා කියලා. මේකට නිශ්චිත පිළිතුරක් තිබෙනවාද…?
මෙතැන ඉන්නෙ පළපුරුදු විමර්ශකයන්. මේ කිසි දෙයක් දේශපාලන අරමුණකින් වෙන්නෙ නෑ. විමර්ශන යන්නෙ විමර්ශනයට අවශ්‍ය විදිහට, ඒ පාරෙ මිස, දේශපාලන න්යායපත්රයකට නෙමෙයි.
මේ විමර්ශකයන්ට දේශපාලන බලපෑම් එන්නෙ නෑ කියලා හොඳටම විශ්වාසද? විමර්ශන නිසා මාරුවීම් එන්නෙ නැද්ද…?
පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් සිදු කරන්නෙ පොලිස් කොමිසම. ඒ කොමිසම ස්වාධීනයි. කොමිසමට අවශ්‍ය වැඩ හැර, වෙනත් කිසිවක් සිදු වන්නේ නෑ.
පොලිස් දෙපාර්තමේන්තුවට පුළුවන්ද රටේ මහජන ආරක්ෂාව බලාගන්න…?
මේ රජය බලයට පත් වන විට රටේ පොලිස්පතිවරයකු හිටියේ නෑ. ඒ නිසා මේ රජය කළ පළමු වැඩේ පොලිස්පතිවරයෙක් පත් කරන එක. ජනාධිපතිවරණය පැවැත්වුණෙත් පොලිස්පතිවරයකු නැතිව.
ඒ පත් කරපු පොලිස්පතිවරයට සම්පූර්ණයෙන් ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙන්නෙ. මහජන ආරක්ෂක කමිටු දාහතරදාහකට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මකයි. ඒ සියල්ලේ එකතුවෙන් මහජන ආරක්ෂාව ශක්තිමත් කරලා තියෙන්නෙ. අපරාධ වාර්තා වනවා. ඒ සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා.
‘දවසේ වෙඩිල්ල’ ගැනත් කතා කරන්න ඕනෑ. මොනවා කිවුවත් ජනතාවට සැක මතුවන එක වළක්වන්න බෑ…
වෙඩි තැබීම් ගණනාවක් වාර්තා වුණා. ඒ වෙඩි තැබීම් කරපු සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් පිටරට සිට මෙහෙයවපු කණ්ඩායම් පවා අත්අඩංගුවට ගනිමින් ඉන්නවා.
මත්ද්‍රව්‍ය කොච්චර ඇල්ලුවත් මේ ආණ්ඩුවත් ඉහළම ජාවාරම්කරුවන්ට අත තියන්නෙ නැද්ද කියලා කවුරු හරි චෝදනා කළොත්, නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්ද…?
මේ ආණ්ඩුව ආවට පස්සෙ මහා පරිමාණයෙන් කොච්චර මත්ද්‍රව්‍ය ඇල්ලුවද? යාත්‍රා කීයක් ඇල්ලුවාද? බිලියන ගණනාවක දේපළ තහනම් කර තබෙනවා. මේවා ඉහළම තලයේ අයගෙ තමයි. විමර්ශන ඉදිරියට යනවා. මනම්පේරිලා වගේ දේශපාලනඥයන් පවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රවී සෙනෙවිරත්න ඇත්තටම අපක්ෂපාතීද…?
මම මේ ධුරයේ රාජකාරි භාර ගත්තෙ 2024 සැප්තැම්බර් මාසයේ. එදා ඉඳලා මේ වෙන කල් කොතැනක හරි ඒ විදිහට ගැටලුසහගත විදිහට වැඩ කරලා තිබෙනවා නම් මට පෙන්වන්න.
Source : Silumina