පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ සාර්ථකයි,ඉදිරියේදි සියළුම අය අත්අඩංගුවට – මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න

පාස්කු ඉරිදා ප්‍රහා­රය සිදු වී අනි­ද්දාට (21) වසර 7කි.

ඒ පිළි­බඳ යුක්තිය කොත­රම් දුරට ඉටු වී ඇද්ද යන්න පිළි­බඳ සමා­ජයේ වෙනස් සංවාද ගණ­නා­වක් තිබේ. ප්‍රහා­රය පිළි­බඳ මුල සිටම සියලු විම­ර්ශන භාර වී තිබුණේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට වූ අතර, ප්‍රහා­රය සිදු වන අව­ස්ථාව වන විට ඒ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා වූයේ රවි සෙනෙ­වි­ර­ත්නය. අද වන විට ඔහු පොලී­සිය භාර, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාය. මේ, පාස්කු දින ප්‍රහා­රයේ විම­ර්ශන සහ එහිදී ඔහුගේ ක්‍රියා­කා­රි­ත්වය සම්බ­න්ධ­යෙන් ‘සිළු­මිණ’ ඔහු සමඟ කළ සංවා­ද­යකි.

පාස්කු ඉරිදා ප්‍රහා­රය වළක්වා ගන්න අවශ්‍ය කට­යුතු කළේ නෑ කියලා රවී සෙනෙ­වි­ර­ත්න­ටත්, ශානි අබේ­සේ­ක­ර­ටත් බර­ප­තළ චෝද­නා­වක් නැඟෙ­නවා. ඒ අතර ඔවුන්ට මේ සිද්ධිය ගැන විම­ර්ශන වග­කී­මත් භාර දී තිබෙ­නවා. මේක ලොකු ප්‍රශ්න­යක්…

පාස්කු ඉරිදා ප්‍රහා­රය ගැන මුලින්ම සොයා­බැ­ලුවේ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු විජිත් මළ­ල්ගොඩ මහ­ත්ත­යගෙ ප්‍රධා­න­ත්ව­යෙන් තිබුණු කමි­ටුව. ඒ කමි­ටුවෙ හිටපු පොලි­ස්පති එන්.කේ. ඉලං­ග­කෝන් මහ­ත්ත­යත් හිටියා; තවත් ජ්‍යෙෂ්ඨ පරි­පා­ලන නිල­ධා­රි­යෙ­කුත් හිටියා. ඒකට අදාළ පාර්ශ්ව කැඳ­වලා ප්‍රකාශ ගත්තා. මාත් ගියා. ශානි අබේ­සේ­කර මහ­ත්ත­යව කැඳෙ­වුවෙ නෑ. ඒ වාර්තාව එව­කට ජනා­ධි­පති මෛතත්‍රීපාල සිරි­සේන මහ­ත්ත­යට භාර දුන්නා. ඒකෙ අපිට කිසිම දෝෂ­යක් හෝ චෝද­නා­වක් නඟලා නෑ. මේ කමි­ටුවේ නිර්දේ­ශ­යක් මත තමයි ප්‍රහා­රය ගැන හොයන්න ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභා­වක් පත් කළේ. ඒක­ටත් අපි ගියා. ඒකෙ අව­සාන නිර්දේශ සහ ඒ වාර්තා­ව­ලත් අපට කිසිම චෝද­නා­වක් නෑ. මේ අතර 2019 ජූලි මාසෙ තිබුණා, පාර්ලි­මේන්තු තේරීම් කාරක සභාව. ඒක­ටත් අදාළ පාර්ශ්ව බොහෝ අය කැඳෙව්වා. මමත්, ශානි අබේ­සේ­ක­රත් සාක්ෂි දුන්නා. ඒකෙ අව­සාන නිර්දේ­ශ­ව­ලත් අපට කිසිම චෝද­නා­වක් නෑ. අපේ රාජ­කා­රි­වල අඩු­පා­ඩු­වක් ගැන­වත් සඳ­හන් කරලා නෑ.

ඊට පස්සෙ, ප්‍රහා­රය වළක්වා නොගැ­නීම ගැන ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඉදි­රියේ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් දහ­ය­කට ආසන්න සංඛ්‍යා­වක් ගොනු කළා. කැබි­නට් මණ්ඩ­ලය, පොලි­ස්පති ඇතුළු ඉහළ පොලිස් නිල­ධා­රීන් ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් රැසක් ඒකෙ නම් කරලා තිබුණා. ඒ පෙත්සමේ තීන්දු­වෙන් ඇතැම් පොලිස් නිල­ධා­රීන්, ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් වර­ද­ක­රු­වන් බවට පත් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පංච පුද්ගල විනි­ශ්චය මණ්ඩ­ල­යක් තමයි මේ තීන්දුව දුන්නෙ. ඒ කියන්නෙ ෆුල් බෙන්ච් එකක්. ඒකෙ­නුත් ශානි අබේ­සේ­ක­ර­ට­වත්, මට­වත් කිසිම දෝෂ­ද­ර්ශ­න­යක් නෑ.

උත්තරේ නම් පැහැ­දි­ලියි. ඒත් ගින්නක් නැතු­ව­මද දුමක් නැඟලා තියෙන්නෙ…?

මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියන එක හරිම පැහැ­දි­ලියි. පෞද්ග­ලික රූප­වා­හිනී නාළි­කා­ව­කදි මම කිවුවා, මේකෙ කුම­න්ත්‍ර­ණ­යක් තියෙ­නවා කියලා. 2023දි අසාද් මවු­ලානා කියලා චරි­ත­යක් මේ ප්‍රහා­රය ගැන, ප්‍රහා­රය පිටි­පස්සෙ කුම­න්ත්‍ර­ණ­යක් තිබුණු බව චැනල් ෆෝ නාළි­කා­වට කිවුවා. ඒ අව­ස්ථාවෙ තමයි මම රූප­වා­හිනී නාළි­කා­වෙදි මේක කිවුවෙ. මම කිවුවා එතැ­නදි, මේකෙ සහ­රාන්ට ඉහ­ළින් පුද්ග­ල­යෙක් ඉන්නවා කියලා. ඔන්න ඔතැ­නින් තමයි රවී සෙනෙ­වි­ර­ත්නයි, ශානි අබේ­සේ­ක­රයි ඉලක්ක කරන්න ගත්තෙ.

ඊළ­ඟට 2024 ජූනි මාසෙ 9 වැනිදා අපි ජාතික ජන බල­වේ­ගයේ රැස්වී­ම­කට සහ­භාගි වුණා. ඊට පස්සෙ ජූනි 12 රනිල් වික්‍ර­ම­සිංහ එව­කට ජනා­ධි­ප­ති­ව­රයා මේ චැනල් ෆෝ වීඩි­යෝව ගැන විම­ර්ශ­නය කරන්න කමි­ටු­වක් පත් කළා. ඒ කමි­ටු­වෙන් මමයි, ශානියි වැර­දි­ක­රුවො කරලා තිබුණා. අපි මේ ගැන ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­ය­ටත් කරුණු දක්වලා තියෙ­නවා. බලමු ඉතින්.

කුලි­යා­පි­ටි­යෙදි සහ­රාන්ව අත්අ­ඩං­ගු­වට ගන්න තිබුණු අව­ස්ථා­වක් හිතා­මතා මඟ­හැ­රියෙ ඇයි? ඒ චෝද­නා­වත් බර­ප­ත­ළයි…

සම්පූ­ර්ණ­යෙන් අස­ත්‍ය­යක්. සහ­රාන් ඒ වෙලාවෙ ගෙදර හිටියෙ නෑ. අපේ කට්ටිය ගියා. තොර­තු­රක් තිබුණා තමයි. මේ ඔක්කොම චෝදනා ලත් තැනැ­ත්තන් තමන්ගේ නිර්දෝ­ෂි­භා­වය පෙන්වන්න සහ අප අහු­ක­රන්න ගන්න උත්සා­හ­යන්.

පොලී­සිය භාර අමා­ත්‍යාං­ශයේ ලේකම් විදි­හට ඔබ සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ විදි­හට ශානි අබේ­සේ­කර දේශ­පා­ලන අව­ශ්‍ය­තා­වක් දෙසට මේ විම­ර්ශන මෙහෙ­ය­ව­නවා කියන එකට මොකක්ද දෙන්න පුළු­වන් උත්තරේ…?

අපි දේශ­පා­ල­න­ඥ­යන් පස්සෙ ගිහින්, ඔවුන්ගෙ වුව­ම­නා­වන් ඉටු කරලා තියෙ­න­වද? කොතැ­නද එහෙම කරලා තියෙන්නෙ? නිකම් චෝදනා කරන්නෙ නැතුව, ඒවට අදාළ කරුණු පෙන්ව­නවා නම් හොඳයි. නිකම්ම නිකම් කතා විත­රයි ඕවා.

මේ විම­ර්ශන මඟින් බුද්ධි අංශ කඩා­වැ­ටෙ­නවා, අක­ර්මණ්‍ය කර­නවා, ඒක ජාතික ආර­ක්ෂා­වට බර­ප­තළ තර්ජ­න­යක් කියන අද­හස පුළුල් ලෙස මතු වනවා. සුරේෂ් සලේ අත්අ­ඩං­ගු­වට ගැනීම ගැනත් වෙනම සංවා­ද­යක් තිබෙ­නවා. ජන­තා­වට මේවා ගැන සැක­යක් ඇති වන එක සාධා­ර­ණයි…

මේ රටේ ජාතික ආර­ක්ෂාව පව­ත්වා­ගෙන යන්න බුද්ධි අංශ අත්‍ය­ව­ශ්‍යයි. බුද්ධි අංශ ඒ වෙනු­වෙන් විශාල කාර්ය­භා­ර­යක් කරලා තියෙ­නවා. මං ඒක අගය කර­නවා. ඒක ඉතා ප්‍රශං­ස­නී­යයි. එහෙත් යම් නිශ්චිත කාලෙක බුද්ධි අංශ­වල යම් කණ්ඩා­ය­මක් දේශ­පා­ලන අර­මුණු වෙනු­වෙන්, ඒ අර­මුණු මුදු­න්පත් කර­ගන්න බුද්ධි රාජ­කාරි ආව­ර­ණ­යක් කර­ගෙන අප­රා­ධ­ව­ලට සම්බන්ධ වෙලා තියෙ­නවා.

සමස්ත බුද්ධි අංශ­ව­ලට විරු­ද්ධව නීතිය ක්‍රියා­ත්මක වීමක් හෝ බුද්ධි අංශ අක­ර්මණ්‍ය වීමක් නෑ. මේ නීතිය ක්‍රියා­ත්මක වෙන්නෙ අර මම කියපු අප­රාධ සිදු­වී­ම්ව­ලට අදා­ළ­වයි. මේක බුද්ධි අංශ පිරි­සුදු කර­ගැ­නීමේ ප්‍රය­ත්න­යක් සහ අප­රා­ධ­ව­ලට අවශ්‍ය සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ ක්‍රියා­දා­ම­යක්. ඒක කළ යුතු එකක්.

ජාතික ජන බල­වේ­ගය ආණ්ඩුව මැති­ව­රණ ප්‍රචා­රක වේදි­කා­ව­ලදි දිගින් දිග­ටම කියපු කතා­වක් තමයි, පාස්කු ඉරිදා ප්‍රහා­රයේ මහ මොළ­කරු ගැන කතාව. ඇත්ත­ටම මේකෙ මහමොළ­ක­රු­වෙක් ඉන්න­වද? මේ විම­ර්ශන එතැ­නට ගෙනි­යන්න පුළු­වන් කියලා ඔබට යම් විශ්වා­ස­යක් තිබෙ­න­වද…?

මුලින්ම පැහැ­දි­ලිව කියන්න ඕනෑ කාර­ණය තමයි: විම­ර්ශ­නය ඉතා හොඳින් යනවා කියන එක. ඒ විම­ර්ශ­නයේ ප්‍රග­තිය මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට වාර්තා කර තිබෙ­නවා. මම විම­ර්ශ­න­යට ඍජුව සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එහෙත් මට ලැබෙන වාර්තා අනුව විම­ර්ශන ඉතා හොඳින් සිදු වනවා.

ඔහොම කියපු විම­ර්ශන එක තැන නැව­තුණු, සිද්ධ වුණු දෙයක් නැති වුණු කාල­යක් අපි පහු කළා. මේක එහෙම කොතැ­නි­න්වත් නව­තින එකක් නැද්ද…?

පැහැ­දි­ලි­වම. මේක හරි­යට ඉස්ස­ර­හට යනවා. පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට සම්බන්ධ සියලු අය ඉදි­රි­යේදී අත්අ­ඩං­ගු­වට ගන්න කට­යුතු කරයි.

මේ මහමොළ­කරු සම්බන්ධ ප්‍රශ්නය දැන් දේශ­පා­ල­නි­කව ජන­ප්‍රිය කතා­වක් වෙලා. ඇත්ත­ටම මේකෙන් බල­පෑ­මක් සිද්ධ වෙන්නෙ ජනතා විශ්වා­ස­යට. මේවා සැල­සු­ම්ස­හ­ගත වැඩද? ඇයි ඒවට නිවැ­රදි පිළි­තුරු ලැබෙන බවක් හරි­යට පේන්නෙ නැත්තෙ…?

ඒ ගැන මට කියන්න තියෙන්නෙ: ඔබ කියන කාර­ණය හරි. ඇතැම් කණ්ඩා­යම් මේක ජන­ප්‍රිය කතා­වක් කර­ගෙන. සමාජ මාධ්‍ය හරහා ඒවා සැල­සුම් සහ­ග­තව කරන වැඩක් කියලා පැහැ­දි­ලිව පේනවා. විවිධ ප්‍රවෘත්ති පළ වනවා. මම ජන­තා­වට කියන්නෙ: අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් මේ ප්‍රහා­රය ගැන කර­ගෙන යන විම­ර්ශ­නය ගැන බලන්න. ඒක හරි­යට කෙරෙ­නවා.

මහා­චාර්ය රොහාන් ගුණ­රත්න, උදය ගම්ම­න්පිල, පිල්ලෙ­යාන් වගේ අය මේ ගැන පොත් ලියා තිබෙ­නවා. ඒ පොත්වල විවිධ තොර­තුරු පද­නම් කර ගෙන ගොඩ­න­ඟන මත තිබෙ­නවා. ඔබ මොනවා කිවු­වත්, සමා­ජ­ගත වන මතය ඒක නේද එත­කොට…?

මම ඔය අතරින් පොත් දෙකක් කියෙ­වුවා. පිල්ලෙ­යාන්ගෙ පොත කිය­වන්න ලැබුණෙ නෑ. රොහාන් ගුණ­රත්න මහ­ත්ත­යගෙ පොත කිය­වලා ඉන්න කොට, ඔහු මුණ­ගැ­හුණු අව­ස්ථා­වක මම පැහැ­දි­ලිව කිවුවා, ඔයාගෙ පොතේ තියෙන්නෙ බොරු, මෙන්න මේකයි සත්‍ය කතාව කියලා. එත­කොට මම විශ්‍රා­මික පොලිස් නිල­ධා­රි­යෙක්. මම දන්න තොර­තුරු මම ඔහුට කිවුවා. ඒකෙ කරු­ණු­වල කිසිම පද­න­මක් නෑ. පිල්ලෙ­යාන්ගෙ පොත කිය­වන්න අවශ්‍ය නෑ නෙ. ඔහු දැන් සැක­ක­රු­වෙක්නෙ. ඒ වගේම ඔහු ගැන, ඔහු කරපු වැඩ ගැන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වෙන කරුණු ප්‍රමා­ණ­යක් තියෙ­නවා. ඒ හර­හාත් ඔහුගේ ක්‍රියා­කා­රි­ත්වය ගැන අද­හ­සක් ගන්න පුළු­වන් නෙ.

වර්ත­මාන ආණ්ඩුව නියෝ­ජ­නය කරන ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පාස්කු ඉරිදා ප්‍රහා­රය වන විට යුද හමු­දාවේ නැඟෙ­න­හිර ආඥා­පති. ඔහු­ටත් විවිධ පාර්ශ්ව­ව­ලින් චෝදනා එල්ල වනවා. ඔහුට අදාළ විම­ර්ශන ක්‍රියා­ත්මක වෙන­වාද…?

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විම­ර්ශ­න­ව­ලදි නඟෙ­න­හිර පළාතේ හිටපු හමුදා නිල­ධා­රී­න්ගෙන් ප්‍රකාශ අර­ගෙන තියෙන්නෙ. නියෝජ්‍ය ඇමැ­ති­තු­මත් ඒ කාලෙ නැඟෙ­න­හිර පළාතේ හිටපු යුද හමු­දාවේ ඉහළ නිල­ධා­රි­යෙක්. එතු­මත් ප්‍රකා­ශ­යක් දුන්නා. විම­ර්ශ­න­ව­ලට අදා­ළව ඉදිරි පිය­වර සිදු වෙයි.

ගෝඨා­භය රාජ­පක්ෂ 2019 නොවැ­ම්බර් මාසෙ ජනා­ධි­පති ධුර­යට පත් වුණාට පස්සෙ පාස්කු ඉරි­දා­ ප්‍ර­හාර ගැන විම­ර්ශ­නය කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉහළ සිට පහ­ළට සිය­ල්ලන් මාරු කළා. ඔබ එත­කොට ඒ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා. ඔබ මෙතැ­නදි නිහ­ඬව හිටි­යද…?

එත­කොට මම විශ්‍රාම යන්න දින ගණ­නා­වක් තමයි ඉති­රිව තිබුණෙ. ශානි අබේ­සේ­කර, ඒ කියන්නෙ එව­කට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා ස්ථාන මාරු කරන කොට මම එව­කට හිටපු පොලි­ස්ප­ති­ගෙන් ඇහුවා, ඇයි මේ මාරු කරන්නෙ කියලා. මට දුන්නු උත්තරේ තමයි, ශානි යනවා, ඔතැ­නට තිල­ක­රත්න එනවා කියලා. එච්ච­රයි. එත­කොට හිතා­ගන්න පුළු­වන් මේ කියන්නෙ මොකක්ද කියලා. කියපු විදි­හ­ටම තිල­ක­රත්න කියන නිල­ධා­රියා ආවා සීඅ­යිඩී අධ්‍යක්ෂ ධුර­යට. ඔහු විම­ර්ශන ගැන පළ­පු­රු­ද්දක් ඇති කෙනෙක් නෙමෙයි. ඔහු දිග­ටම කට­යුතු කරලා තිබුණේ ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ. ඔහුත් එක්කම ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ සහ ඇමැති ආර­ක්ෂක අංශයේ තවත් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් සීඅ­යි­ඩි­යට අනු­යුක්ත කළා.

ඊට පස්සෙ මට දැන­ගන්න ලැබුණා, සීඅ­යිඩී එකේ නිල­ධා­රීන් හත්සිය හත­ර­කට ගුවන් ගමන් තහ­න­මක් පන­වලා කියලා. මම තිල­ක­ර­ත්න­ගෙන් ඇහුවා, ඇයි එහෙම ගුවන් ගමන් තහ­න­මක් දැම්මෙ කියලා. ඔහු මට පැහැ­දිලි පිළි­තු­රක් දුන්නෙ නෑ. එත­කොට මගෙ යටතේ හිටපු නියෝජ්‍ය පොලි­ස්පති ධම්මික ප්‍රිය­න්තට මම නියෝග කළා, ඒ ගැන විම­ර්ශ­න­යක් ආරම්භ කරන්න කියලා. ඒ නිල­ධා­රියා මේ විම­ර්ශ­නය ආරම්භ කරන කොටම ඔහුට වව්නි­යා­වට ස්ථාන මාරු වීමක් ලැබුණා. ඒ කියන්නෙ පැහැ­දි­ලියි නේද වැඩ කට­යුතු සිදු වුණු විදිහ. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විම­ර්ශ­න­යට ඍජු­වම සම්බන්ධ වෙලා හිටපු සීඅ­යිඩී එකේ නිල­ධා­රීන් 22ක් තැන් තැන්ව­ලට මාරු කළා. අර ගුවන් ගමන් තහ­න­මට විරු­ද්ධව පොලිස් අධි­කාරි රංජිත් මානව හිමි­කම් කොමි­ෂන් සභා­වට පැමි­ණි­ල්ලක් කළා. පැමි­ණිල්ල කරලා ඔහු සීඅ­යිඩී එකට එන කොට ඔහු පොලිස් මූල­ස්ථා­න­යට මාරු කරලා. ඒ විදි­හට තමයි පුදුම හදි­සි­ය­කින් ඒ වැඩ එදා සිද්ධ වුණේ.

මේ කරුණු කිය­වන කොට ජන­තා­වට සැක­යක් ඇති වෙන්න පුළු­වන්, තව­දු­ර­ටත් මේ විම­ර්ශන ඉදි­රි­යට යන්න පුළු­වන්ද කියලා, 2019 – 2024 කාලෙ ඔක්කොම සාක්ෂි විනාශ කරන්න ඇති නෙ කියලා හිතෙන්න පුළු­වන්. එහෙම විනාශ කරපු ලිඛිත සාක්ෂි තිබෙ­න­වාද…?

ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කණ්ඩා­යම් ගැඹු­රින් විම­ර්ශන කර­නවා. යම් යම් සිද්ධි වෙලා ඇති කියලා මමත් හිත­නවා. විශේ­ෂ­යෙන්ම ගත්තොත්: සාරා ජස්මින්ගෙ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වගේ. වැද­ගත්ම කාර­ණය තමයි, 2019 නොවැ­ම්බර් මාසෙ ඒ වෙන­කොට විම­ර්ශ­නය කරපු නිල­ධා­රීන් මාරු කළාට පස්සෙ 2024 නොවැ­ම්බර් මාසෙ වෙන කල් මේ පිළි­බඳ කිසිම විම­ර්ශ­න­යක් සිදු වුණේ නෑ. ඔය කාලෙ ඇතුළෙ හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදි­යු­දීන් වගේ යම් යම් පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගත්තා. මඩ­ක­ල­පුව පැත්තෙ ටයි­ම්කී­පර් කෙන­කුත් අත්අ­ඩං­ගු­වට ගත්තා. ඔහු මහමොළ­කා­රයා කිය­ලත් කිවුවා. ඒ වගේ විකාර වැඩ කළා මිස, නිය­මා­කාර පරී­ක්ෂ­ණ­යක් කළේ නෑ.

l2014 අලු­ත්ගම, දර්ගා නග­රයේ සිදු­වීමේ ඉඳලා මාව­නැල්ල බුදු පිළිම සිදු­වීම, වවු­න­තිව් පොලිස් නිල­ධා­රීන් ඝාත­නය, මේ සිද්ධි එක­කට-එකක් සම්බ­න්ධයි කියලා සැක­යක් තියෙ­නවා. ඒ ගැන තහ­වුරු වී තිබෙ­න­වාද…?

පාස්කු ඉරිදා ප්‍රහා­රය කියන්නෙ හුදෙ­කලා සිදු­වී­මක් නෙමෙයි; සිදු­වීම් ගණ­නා­වක් එක්ක දාම­ගත වුණු සිද්ධි­යක්. මේ පැට­ලිලි ස්වභා­ව­යන් තියෙන තැන් විම­ර්ශන කණ්ඩා­යම් ලිහා­ගෙන යනවා. අපි විම­ර්ශන කණ්ඩා­ය­ම්ව­ලට ඉඩ දෙමු. ඊට පස්සෙ මේ සම්පූර්ණ කතාව මොකක්ද, කුම­න්ත්‍ර­ණය මොකක්ද කියලා ඔවුන් අධි­ක­ර­ණ­යට කියයි. අපි එත­කල් බලා­ගෙන ඉඳිමු.

මේ කුම­න්ත්‍රණ කතා­වත් එක්ක විප­ක්ෂයේ විවිධ පාර්ශ්ව කියන්නේ දේශ­පා­ලන අර­මුණු එක්ක ඉලක්ක කරලා පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගන්නවා කියලා. මේකට නිශ්චිත පිළි­තු­රක් තිබෙ­න­වාද…?

මෙතැන ඉන්නෙ පළ­පු­රුදු විම­ර්ශ­ක­යන්. මේ කිසි දෙයක් දේශ­පා­ලන අර­මු­ණ­කින් වෙන්නෙ නෑ. විම­ර්ශන යන්නෙ විම­ර්ශ­න­යට අවශ්‍ය විදි­හට, ඒ පාරෙ මිස, දේශ­පා­ලන න්‍යාය­ප­ත්‍ර­ය­කට නෙමෙයි.

මේ විම­ර්ශ­ක­යන්ට දේශ­පා­ලන බල­පෑම් එන්නෙ නෑ කියලා හොඳ­ටම විශ්වා­සද? විම­ර්ශන නිසා මාරු­වීම් එන්නෙ නැද්ද…?

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථාන මාරු­වීම් සිදු කරන්නෙ පොලිස් කොමි­සම. ඒ කොමි­සම ස්වාධී­නයි. කොමි­ස­මට අවශ්‍ය වැඩ හැර, වෙනත් කිසි­වක් සිදු වන්නේ නෑ.

පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට පුළු­වන්ද රටේ මහ­ජන ආර­ක්ෂාව බලා­ගන්න…?

මේ රජය බල­යට පත් වන විට රටේ පොලි­ස්ප­ති­ව­ර­යකු හිටියේ නෑ. ඒ නිසා මේ රජය කළ පළමු වැඩේ පොලි­ස්ප­ති­ව­ර­යෙක් පත් කරන එක. ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වු­ණෙත් පොලි­ස්ප­ති­ව­ර­යකු නැතිව.

ඒ පත් කරපු පොලි­ස්ප­ති­ව­ර­යට සම්පූ­ර්ණ­යෙන් ස්වාධී­නව කට­යුතු කරන්න අවශ්‍ය වට­පි­ටාව සකස් කරලා තියෙන්නෙ. මහ­ජන ආර­ක්ෂක කමිටු දාහ­ත­ර­දා­හ­කට අධික ප්‍රමා­ණ­යක් ක්‍රියා­ත්ම­කයි. ඒ සියල්ලේ එක­තු­වෙන් මහ­ජන ආර­ක්ෂාව ශක්ති­මත් කරලා තියෙන්නෙ. අප­රාධ වාර්තා වනවා. ඒ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නවා.

‘දවසේ වෙඩිල්ල’ ගැනත් කතා කරන්න ඕනෑ. මොනවා කිවු­වත් ජන­තා­වට සැක මතු­වන එක වළ­ක්වන්න බෑ…

වෙඩි තැබීම් ගණ­නා­වක් වාර්තා වුණා. ඒ වෙඩි තැබීම් කරපු සියලු දෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. ඒ සැක­ක­රු­වන් පිටරට සිට මෙහෙ­ය­වපු කණ්ඩා­යම් පවා අත්අ­ඩං­ගු­වට ගනි­මින් ඉන්නවා.

මත්ද්‍රව්‍ය කොච්චර ඇල්ලු­වත් මේ ආණ්ඩු­වත් ඉහ­ළම ජාවා­ර­ම්ක­රු­වන්ට අත තියන්නෙ නැද්ද කියලා කවුරු හරි චෝදනා කළොත්, නිශ්චිත උත්ත­ර­යක් දෙන්න පුළු­වන්ද…?

මේ ආණ්ඩුව ආවට පස්සෙ මහා පරි­මා­ණ­යෙන් කොච්චර මත්ද්‍රව්‍ය ඇල්ලු­වද? යාත්‍රා කීයක් ඇල්ලු­වාද? බිලි­යන ගණ­නා­වක දේපළ තහ­නම් කර තබෙ­නවා. මේවා ඉහ­ළම තලයේ අයගෙ තමයි. විම­ර්ශන ඉදි­රි­යට යනවා. මන­ම්පේ­රිලා වගේ දේශ­පා­ල­න­ඥ­යන් පවා අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා.

රවී සෙනෙ­වි­රත්න ඇත්ත­ටම අප­ක්ෂ­පා­තීද…?

මම මේ ධුරයේ රාජ­කාරි භාර ගත්තෙ 2024 සැප්තැ­ම්බර් මාසයේ. එදා ඉඳලා මේ වෙන කල් කොතැ­නක හරි ඒ විදි­හට ගැටලුසහ­ගත විදි­හට වැඩ කරලා තිබෙ­නවා නම් මට පෙන්වන්න.

Source : Silumina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *