රජය විසින් විදේශීය ණය සේවාකරණ ගෙවීම් යටතේ ඉකුත් වර්ෂයේ දී (2025) ඇමරිකානු ඩොලර් බිලියන 5.1 මුදලක් ගෙවා ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.
2024 වර්ෂයේ දී ගෙවා ඇති සමස්ත විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.3කි. ඒ අනුව 2024 වර්ෂයට සාපේක්ෂව රජයේ විදේශීය ණය සේවාකරණ ගෙවීම්වල සැලකිය යුතු ඉහළ යෑමක් 2025 වර්ෂයේ දී වාර්තා වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
එමෙන්ම රජය විසින් සිදුකරනු ලැබූ පොලී ආපසු ගෙවීම් 2024 වර්ෂයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 0.7ට සාපේක්ෂව 2025 වර්ෂයේ දී ඩොලර් බිලියන 1.1 දක්වා ඉහළගොස් ඇති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් වෙයි.
ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලට අදාළ ගෙවීම්, ඉන්දියානු ණය පහසුකම් සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවෙත සිදුකළ ආපසු ගෙවීම් සහ වෙනත් ද්විපාර්ශ්වික ආයතන වෙත සිදු කළ ණය ආපසු ගෙවීම් මේ සඳහා හේතුවී තිබුණි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමෙන් පසු ගෙවීම් අත්හිටුවා තිබූ බොහොමයක් රජයේ විදේශීය ණය ආපසු ගෙවීම නැවත ආරම්භ කර ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.