චමල් රාජපක්ෂ සිටි පදනමකට ඉන්ධන පිරවුම්හලත් එක්ක ඉඩමක් දීලා – අත්තනෝමතික ක්‍රියාව අධිකරණය අත්හිටුවයි

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ඉදිකර පවත්වාගෙන ගිය හම්බන්තොට ඉන්ධන පිරවුම්හල සහිත ඉඩම, ‘මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම’ වෙත ලබාදීමට රාජ්‍ය නිලධාරීන් ගත් තීරණය අත්තනෝමතික, අසාධාරණ සහ අතාර්කික බවට තීන්දු කළ අභියාචනාධිකරණය, එම තීන්දුව අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කළේය.

ඊයේ (28) මෙම තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනි. විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊට එකඟ විය.

‘චමල් රාජපක්ෂ පදනම’ ‘මාගම්පුර’ වෙයි

නඩු තීන්දුවේ සඳහන් වන්නේ, ඉඩම ලබාගැනීමට කටයුතු කළ ‘මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම’ ඊට පෙර ‘චමල් රාජපක්ෂ ප්‍රජා සංවර්ධන පදනම’ නමින් පවත්වාගෙන ගොස් 2014 ජූලි 20 දින නම වෙනස් කර ඇති බවයි. එවකට අමාත්‍යවරයෙකු වූ චමල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික නම පුණ්‍ය ආයතනයකට නුසුදුසු බවට වූ නිර්දේශය මත මෙම නම වෙනස් කර ඇත.

විශේෂත්වය වන්නේ, රතු කුරුස සංගමයේ හම්බන්තොට ශාඛා සභාපති ලෙස කටයුතු කළ කේ. එච්. ප්‍රේමතිලක මහතා පසුව මාගම්පුර පදනමේ ද තනතුරක් දැරීමයි.

සිද්ධියේ පසුබිම

2007 වසරේදී රතු කුරුස සංගමය සිය පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමට හම්බන්තොට ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට තීරණය කළේය. එවකට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත මුලින් පර්චස් 40ක් වෙන් කළ ඉඩම පසුව පර්චස් 65 දක්වා වැඩි කෙරිණි.

2008 දී හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා දන්වා තිබුණේ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත රතු කුරුස සංගමයට ලබා දෙන බවයි. ඒ අනුව රතු කුරුස සංගමය විශාල මුදලක් ආයෝජනය කර 2010 සැප්තැම්බර් වන විට ඉන්ධන පිරවුම්හල ඉදිකර මෙහෙයුම් ආරම්භ කළේය.

තත්ත්වය වෙනස් වීම සහ අත්තනෝමතික තීරණය

2013 අගභාගයේදී පිරවුම්හලේ මූල්‍ය අක්‍රමිකතා හෙළිවීමෙන් පසු රතු කුරුස සංගමය හම්බන්තොට ශාකා කමිටුව අත්හිටුවා අතුරු කමිටුවක් පත් කළේය.

ඉන්පසු 2014 ඔක්තෝබර් 14 දින දිස්ත්‍රික් ඉඩම් කමිටුව රතු කුරුස සංගමයට ඉඩම දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවීය. එම රැස්වීමට මාගම්පුර පදනමේ ලේකම් ඒ. වීරරත්න මහතා ද සහභාගී වී ඇති බව අධිකරණය නිරීක්ෂණය කළේය.

2014 ඔක්තෝබර් 20 දින, මූල්‍ය අක්‍රමිකතා මත විසිරවූ හම්බන්තොට ශාඛාවේ හිටපු සම්බන්ධීකාරක කේ. එච්. ප්‍රේමතිලක මහතා, තමන් රතු කුරුස නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් ඉඩම මාගම්පුර පදනමට පැවරීමට එකඟතාව පළ කර තිබිණි.

2014 ඔක්තෝබර් 27 දින දිස්ත්‍රික් ලේකම්වරයා ලිපියකින් දන්වා තිබුණේ ඉඩමේ කිසිදු ගොඩනැගිල්ලක් නැති බවයි. නමුත් එම ලිපියටම අමුණා තිබූ LC/HMB/2014/56 මිනුම් සැලැස්මේ රතු කුරුස පිරවුම්හල පැහැදිලිව සටහන්ව තිබීමෙන් බලධාරීන්ගේ තොරතුරුවල බරපතල පරස්පරතාවක් ඇති බව අධිකරණය සඳහන් කළේය.

2015 අප්‍රේල් 10 දින සහකාර ලේකම් (ඉඩම්) දන්වා ඇත්තේ රතු කුරුස සංගමය පුණ්‍ය ආයතනයක් බැවින් වාණිජ කටයුතු කළ නොහැකි නිසා ඉඩම ‘මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම’ වෙත බදු දෙන බවයි.

අධිකරණයේ නිරීක්ෂණ

විනිසුරු පටබැඳිගේ මහතා සඳහන් කළේ, රාජ්‍ය බලධාරීන් අසාධාරණ සහ අතාර්කික ලෙස ක්‍රියා කර ඇති බවයි. රතු කුරුස සංගමයේ ව්‍යවස්ථාවේ 30.6 වගන්තියට අනුව මානුෂීය අරමුණු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට වාණිජ කටයුතු කිරීමේ හැකියාව ඔවුන්ට ඇති බව අධිකරණය අවධාරණය කළේය.

ස්වභාවික යුක්තිය උල්ලංඝනය කරමින්, රතු කුරුස සංගමයට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී අනුමැතිය අවලංගු කිරීම ක්‍රියාපටිපාටික අතින් බරපතල දෝෂයක් බව අධිකරණය නිගමනය කළේය.

අධිකරණ නියෝගය

ඒ අනුව අභියාචනාධිකරණය:

  1. රතු කුරුස සංගමයේ බදු අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණ අවලංගු කළේය.
  2. ඉඩම මාගම්පුර පදනමට බදු දීමට ගත් සියලු පියවර අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කළේය.
  3. රතු කුරුස සංගමයේ අයදුම්පත නීතියට අනුකූලව සහ සාධාරණ අවස්ථාවක් ලබා දී නැවත සලකා බලන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, සභාපති ජගත් අබේසිංහ, ජාතික ලේකම් එස්.එච්. නිමල් කුමාර් සහ රතු කුරුස යන්ත්‍රෝපකරණ සංවිධානය විසිනි. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *