වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මිනිත්තුවකටත් වඩා අඩු කාලයක දී සිසේරියන් සැත්කමක් සිදු කර මවකගේත් දරුවකුගේ ජීවිතය බේරා ගනියි

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා විසින් මිනිත්තුවකටත් අඩු කාලයකදී සිදුකළ හදිසි සිසේරියන් සැත්කමක් මගින් මවකගේ සහ නොමේරූ බිළිඳෙකුගේ ජීවිත බේරාගෙන ඇත.

මෙම ප්‍රවෘත්තිය උපුටා ගනු ලැබුවේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ ෆේස්බුක් පිටුවෙනි.

සිද්ධිය මෙසේය

සති 34ක ගැබිනි මවක් දරු ප්‍රසූතියට සූදානමින් සිටියදී අධි රුධිර පීඩනය හේතුවෙන් මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රුධිර පීඩනයට අමතරව ඇයට වලිප්පුව ද වැළඳී ඇත.

තත්ත්වය බරපතළ වීම නිසා ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. කුරුණෑගල රෝහලේදී ද යළි වලිප්පුව සෑදී ඇති අතර, රුධිර පීඩනය ද සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් තිබේ.

නෝම්බි අරින්න සූදානමින් සිටියදී හදිසි කැඳවීමක්

මව සිටි වාට්ටුව භාර වෛද්‍යවරයා වහාම වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. ඇමතුම ලැබෙන අවස්ථාවේ වෛද්‍ය ෂිහාබ්දීන් මහතා නෝම්බි ඇරීමට සූදානමින් සිට ඇත.

මව වහාම ශල්‍යාගාරයට ඇතුළත් කරන ලෙස උපදෙස් දුන් ඔහු, මිනිත්තු 5ක් තුළ රෝහලට පැමිණ තිබේ.

හෘද ස්පන්දනය නැවතී තිබූ මව

එම අවස්ථාවේදී අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වය මත මවගේ හෘද ස්පන්දනය නැවතී තිබී ඇත. මව බේරා ගැනීමට නම් හදිසි සැත්කමක් කර වැදෑමහ ඉවත් කළ යුතු බව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ තීරණය වී තිබේ. එවිට රුධිර පීඩනය සාමාන්‍ය අතට පත් වී යළි හෘද ස්පන්දනය ආරම්භ වන බව ඔහු දැනුම් දී ඇත.

තත්පර 30ත් මිනිත්තුවත් අතර සැත්කම

ඒ අනුව වහාම සිසේරියන් සැත්කමට යොමු කළ මවගේ සැත්කම තත්පර 30ත් මිනිත්තුවත් අතර කාලයකදී නිමා කිරීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා කටයුතු කර ඇත.

අවසානයේ දරුවාගේත් මවගේත් ජීවිත දෙකම බේරා ගැනීමට ඔහුට හැකි වී තිබේ. සති 34දී උපන් බිළිඳා නොමේරූ දරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *