මේක මගේ හිතින් අයින් කරලයි තිබ්බේ,දාායකත්වය ඉල්ලා සිටි නිසා රට වෙනුවෙන් එනවා – හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පැවරුණු අභිනව අතුරු පාලක කමිටුව වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (06 වැනිදා) පළමු වරට නිල වශයෙන් රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇති ඒ ඒ ප්‍රධාන අංශවල පිරිස් හමුවීමට කටයුතු යොදාගෙන ඇති අතර එම සෑම අංශයක්ම සිය වැඩකටයුතු පිළිබඳව පරිගණකමය ඉදිරිපත් කිරීමක් (Presentation ) සඳහා සූදානමින් පැමිණෙන ලෙසින් අතුරු කමිටුව විසින් එකී අංශ වෙත දැනුම් දී තිබේ.

පෙරේදා (04 වැනිදා) දිනයේද අතුරු කමිටු සාමාජික ප්‍රකාශ් ෂාෆ්ටර්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි විශේෂ අංශයක කටයුතු විමසා තිබූ අතර ඒ අනුව, ක්‍රිකට් අතුරු කමිටුව, මෙම මුල් දින කිහිපය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරී ව්‍යුහය අධ්‍යයනය කිරීම සඳහා යොදාගෙන ඇති බවක් පෙනී යයි.

මේ අතර අතුරු කමිටුව වැඩ භාරගන්නා දිනය වන විට දිවයිනෙන් බැහැරව සිටි එම කමිටු සාමාජික රොෂාන් මහානාම පාකිස්තානයේ පී.එස්.එල් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරක ලෙසින් කටයුතු කිරීමෙන් අනතුරුව පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ඒ අනුව ඔහුද අද දිනයේදී කමිටුව හා එක්වනු ඇත.

තමන් හට පැවරුණු මෙම වගකීම සම්බන්ධයෙන් රොෂාන් මහානාම වෙතින් ඊයේ (05 වැනිදා) කළ විමසීමේදී “ඇත්තටම මේ රටේ ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා කිසිම විදිහේ යෙදීමකට ම‍ගෙ අදහසක් තිබුණේ නැහැ. මෙයට වසර කිහිපයකට පෙරම මම එය හිතින් ඉවත් කර තිබුණා. නමුත් මගේ රට මා යෙදුණු මේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කරන්න මගෙන් දායකත්වයක් ඉල්ලා සිටින විට අනාගත ක්‍රිකට් පරපුර වෙනුවෙන් මට එම ඉල්ලීම ඉවතදාන්න බැරිකමක් තිබුණා. ක්‍රිකට්වල දියුණුව වෙනුවෙන් මගේ හිතේ තියෙන සැලසුම් මම ඉදිරිපත් කරනවා. මට දියහැකි දායකත්වය නිහඬව ලබාදෙනවා. එපමණයි” යනුවෙන් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *