විෂ දුම පිටකරන වාහන ‘අසාධු ලේඛනයට යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මඟ දෙපස දුම් පරීක්ෂාව යළි ආරම්භ කළ බව පවසන එම දෙපාර්තමේන්තුව නඩත්තු නියෝග නොතකන අයට දැඩි දඬුවම් පමුණුවන බවද කියා සිටී. ඒ අනුව පසුගිය මාස කිහිපය පුරා මෙරට මාර්ග පද්ධතිය තුළ දක්නට ලැබුණු වාහන දුම් දූෂණය පාලනය කිරීම වෙනුවෙන් ‘මාර්ගස්ථ දුම් පරීක්ෂාව’ (Roadside Emission Testing) මැයි මාසයේ සිට යළිත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ වාහන වායු විමෝචන භාරකාර අරමුදල තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාහන වායු විමෝචන භාරකාර අරමුදල, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සෘජු ඒකකයක් බවට පත්වීමේදී ඇතිවූ පරිපාලනමය වෙනස්කම් හේතුවෙන් මෙම පරීක්ෂණ කටයුතු තරමක් මන්දගාමී වී තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස කළු දුමාරය පිටකරන වාහන මාර්ගවල බහුල වීමෙන් මහජනතාව දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව තිබූ අතර, නව පරිපාලන ව්‍යුහය යටතේ මෙහෙයුම් කටයුතු දැන් වඩාත් විධිමත් කර ඇත.