ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 84ක් ඇස් දන් දෙන්න කැමැත්ත ලබා දෙයි

ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

2011 වර්ෂයේ පෙබවාරි මස 24වන දින ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව 2023 අංක 2 දරණ පනත මගින් මේවන විට ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය නමින් පරිවර්ථනය වී ඇත. එහි වත්මන් සභාපතීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් දරණු ලබයි.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය මගින් පුද්ගලයෙකු මිය ගිය විට එම පුද්ගලයාගේ අක්ෂි කුණිතය කොටස ලබාගෙන විද්‍යනුකූලව සකස්කර කුණීත අන්ධභාවයෙන් පෙළෙන රෝගියෙකුට බද්ධ කර පෙනුම ලබාදීමට කටයුතු කරනු ලබයි.

2011 වර්ෂයේ සිට ගෙවුනු වසර 15 කාළයතුළ මේ දක්වා කුණිත 17,000 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය මගින් එකතු කර අතර එම කුණිත වලින් 12,000 ක් මෙරට රෝගීන් සඳහා බද්ධ කර ඇත. වෙනත් රටවල අවශ්‍යතාවය සහ ඉල්ලීම මත 4000 – 4500 ක ප්‍රමාණයක් ප්‍රදානය කර ඇත. මෙම අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනයක් වන අතර සිංගප්පූරුව හා දකුණු අප්‍රිකා, ඇතුලු ආසියානු රටවලින් මෙරට අක්ෂි බැංකුවේ ඇති කුණීත සදහා විශේෂ ඉල්ලුමක් ද පවතී.

මේවන විට මෙරට ජීවත්වන ජනතාවගෙන් 84% ක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව ඊට අදාළ දත්ත තහවරු කරයි.

මෙහි දී ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට සහ ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරයට අනුපමේය සේවාවක් සිදුකළ එහි නිර්මාතෘ මෙන්ම හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ, අක්ෂි ශළ්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆෝන්සේකා මහතාහට විශේෂ ප්‍රණාම පුදකිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කෙරිනි.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව් සේවයේ නියුතු කාර්ය මණ්ඩලය මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇගයීම පිණිස විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරයේ වත්මන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, කළමණාකරු අනුරුද්ධ මාරසිංහ,ගණකාධිකාරි සුමුදු රාජකරුණා,

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ කේ.ආර්. දයාවංශ, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චම්පා බානගල යන මහත්ම මහත්මීන් ඇතුළුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මෙන්ම හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනයක්, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, පරිත්‍යාගශීලීන්ගේ පවුල්වල සාමාජිකයන්, ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *