සාමය උදා කිරීම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ 17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී මේ 19 දා සවස 3ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රණවිරු සේවා අධිකාරිය විසින් මෙහෙයවනු ලබන මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ වෙනදාට වඩා වැඩි රණවිරු පවුල් සංඛ්‍යාවකට සහභාගි වීමට අවස්ථාව ලබාදීම බව එහි සභාපති, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) එස්.බී. කොහොන මහතා මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඊයේ (14) පැවසුවේය.
ජාතික රණවිරු සැමරුම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති එම ප්රවෘත්ති සාකච්ඡාවේ දී ඒ මහතා පැවසුවේ මෙවර උත්සවයේ සුවිශේෂීම වෙනස වන්නේ උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් ත්‍රිවිධ හමුදාවට එක්ව දිවි පිදු ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් 30 දෙනකු පමණ විශේෂ ආරාධිතයන් ලෙස එක් කර ගැනීම බවයි.
‘මියගිය තමන්ගේ සහකරු, පියා හෝ පුත්‍රයා වෙනුවෙන් ජාතියේ ගෞරවය පුද කරන මොහොතේ ජනාධිපතිවරයා සමඟ එක්ව උපහාර දැක්වීමට ඔවුන්ට මෙහි දී අවස්ථාව හිමිවන බවත් සීමිත ඉඩකඩක් පැවැතියද, සාමාන්‍ය ප්රොටොකෝලවලට වඩා රණවිරු පවුල්වලට ප්‍රමුඛතාවය ලබා දීමට මෙවර කටයුතු කර ඇති බවත් කියා සිටියේය. මෙවර සහභාගි කරවා ගන්නේ ආරාධිත පිරිසක් පමණක් බවත් වැඩිදුරටත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙවර උත්සවයට යුද, නාවික, ගුවන්, පොලිස්, විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශ නියෝජනය කරමින් 2,769 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරියේ ගෲප් කැප්ටන් එල්.එම්.සී.බී. නිශ්ශංක මහතා මෙහි දී පැවසුවේය. විශේෂයෙන්ම රණවිරු දෙමාපියන් සහ ඥාතීන් 160කට වැඩි පිරිසකට ප්‍රධාන උත්සවයට සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී ඇත. ජනාධිපතිවරයා ඇතුළු විශේෂ ආරාධිතයන් මල්කලඹ පුද කරන අවස්ථාවේ දී, එම රණවිරු පවුල්වල සාමාජිකයන්ටද ඔවුන් සමඟ ගොස් ස්මාරකය අභියස මල්කලඹ පුද කිරීමට පහසුකම් සලසා තිබීම මෙවර විශේෂත්වයකි. උත්සවය පස්වරු 6:45ට නිමාවට පත් වීමට නියමිතය.
‘නිෙවසේ සිටින රණවිරුවාට රණවිරු සේවා අධිකාරිය දැනෙන්නට සැලැස්වීම’ තමන්ගේ ප්‍රධාන අරමුණ බවත්, ඒ වෙනුවෙන් මිලියන 569ක මුදලක් මේ වසර සඳහා වෙන් කර ඇති බවත් රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.ජී. භාග්‍ය මහතා මෙහි දී පැවසුවේය. පසුගිය වසරේ පමණක් රණවිරු සුභසාධනය සඳහා මිලියන 444ක් වැය කර ඇත. ඉදිරි වසර පහ සඳහා සකස් කළ උපායමාර්ගික සැලැස්ම අනුව රණවිරුවන්ගේ නිවාස ප්‍රශ්න, සෞඛ්‍ය, අධ්‍යාපන සහ මනෝ-සාමාජීය ගැටලු විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් නිලධාරින් ගමින් ගමට ගොස් කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.