රජය විසින් ඉදිරි මාස තුන සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දීමට තීරණය කර ඇත. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 57ක මුදලක් වෙන්කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතැයිද ඔහු කීය.
ඩීසල් ලීටරයක් ගෙන්වා බෙදා හැරීමට රුපියල් 750ක පමණ පිරිවැයක් දැරීමට සිදුවුවද, එය රුපියල් 392කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 358ක පමණ පාඩුවක් සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.
ඉන්ධන සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යෑම මෙරට ඩොලරයේ අගයට ඍජුව බලපාන බව සභාපතිවරයා පවසයි. පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 522ක් වැය වී ඇති අතර, මැයි මාසයේදී එය ඩොලර් මිලියන 324ක් දක්වා අඩුකර ගැනීමට හැකි වී තිබේ. මේ හේතුවෙන්, ඩොලරය ආරක්ෂා කරගැනීම සඳහා ඉන්ධන පරිභෝජනය හැකිතාක් සීමා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෑතකාලීනව මෙරට මුහුණ දුන් ඉන්ධන අර්බුදය හමුවේ වුවද, නිසි කළමනාකරණය සහ නිලධාරීන්ගේ කැපවීම මත වර්තමානය වන විට ඉන්ධන පිරවුම්හල් හරහා කිසිදු බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව ලැබී ඇති බව රාජකරුණා මහතා පවසයි.
යම් හදිසි තත්ත්වයක් ඇති නොවන්නේ නම්, වසරේ ඉදිරි කාලය පුරාවටම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව හෙතෙම අවධාරණය කරයි.
සභාපතිවරයා පෙන්වා දෙන පරිදි, පිරිපහදු කටයුතු අඛණ්ඩව සිදුවන අතර අගෝස්තු මාසය දක්වා අවශ්‍ය නිෂ්පාදිත ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) ලබා ගැනීම සහතික කර ඇත. කෙසේ වෙතත්, ලෝක වෙෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම විශාල ගැටලුවක් වී තිබේ.
ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමේදී දැනට පවතින ‘ඔත්තේ ඉරට්ටේ’ ක්‍රමය ඉවත් කිරීමට බලාපොරොත්තු වුවද, QR කේත ක්‍රමය (QR System) දිගටම පවත්වාගෙන යන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. මෙම ක්‍රමය හරහා ගොවීන්ට සහ ධීවරයන්ට අවශ්‍ය භූමිතෙල් සහ ඩීසල් සඳහා ඍජුව සහන ලබා දීමටත්, මුදල් භාවිතයෙන් තොර ඔන්ලයින් (Online) ගෙවීම් පද්ධතියක් දක්වා එය සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇත.
අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති බවත්, විදුලිය උත්පාදනය සඳහා දිනකට ඩීසල් ටොන් 1000ක් පමණ වැයවන බවත් හෙතෙම සඳහන් කළේය. එබැවින් රාත්‍රී කාලයේ විදුලි පරිභෝජනය හැකිතාක් අඩු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, වෙසක් සතිය වෙනුවෙන් විදුලිය සම්බන්ධයෙන් යම් සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.