හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයේ වගකිවයුතු තනතුරක් දැරූ පුද්ගලයෙක් ඩුබායි ගොස් පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මුණගැසී ඇති බවට තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇත.
අසර්බයිජාන් සිට අල්ලාගෙන ආ බටුවත්තේ චාමර ඒ බව හෙළිකර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එසේ ඔහු මුණගැසී ඇති අය අතර බටුවත්තේ චාමර ද සිටියි.
මෙරට දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන ටෙලි නාට්‍යයක රඟපෑ නළුවකුගේ පුතෙක් වන චමිල නමැත්තාද ඩුබායිහී දී ඔහු හමුවී ඇති බව සඳහන්ය.
එම පාතාල අපරාධකරුට කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක්ද ඇතැයි සඳහන්ය. එම සමාජ ශාලාව තුළ මෑතකදී ගැටුම් කිහිපයක්ද ඇතිවී තිබිණි.
අදාළ පුද්ගලයා ඩුබායි ගොස් පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක් මුණ ගැසුණේ කුමන ක්‍රියාවක් සඳහා දැයි විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව සහ නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහත්වරු ගමන් කරමින් සිටි ජිප් රථයට පසුගිය වසරේ මැයි 17 දා වෙඩි තබා රහස් ලිපිගොනුවක් පැහැරගැනීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇත්තේ චමිල සහ බටුවත්තේ චාමර නමැති පාතාල අපරාධකරුටය.