ඉදිරියට යාම පහසු නෑ,නමුත් ශ්‍රි ලංකාව දැන් පෙරට වඩා හොද තැනක ඉන්නවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකව ඉදිරියට යමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ඒ අනුව, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන 5 වැනි සහ 6 වැනි සමාලෝචන ඒකාබද්ධව ලබන සතියේදී IMF විධායක කමිටුවේ අවධානයට යොමු කිරීමට නියමිත බව එහි ආසියා-පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට, විදේශ සංචිත නැවත ගොඩනැඟීමට සහ විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් “සුවිශේෂී ප්‍රගතියක්” අත්කර ගෙන ඇති බවයි.

මෙම කැපවීම් මහජනතාව, ආයෝජකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ඇගයීමට ලක්ව ඇති අතර, එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් පදනමකට රැගෙන ඒමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.

අභියෝග හමුවේ ස්ථාවරත්වය

කෙසේ වෙතත්, වත්මන් ගෝලීය ආර්ථික වර්ධනයන් හමුවේ ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද නව බාහිර පීඩනයන්ට මුහුණ දෙමින් සිටින බව ශ්‍රීනිවාසන් මහතා පෙන්වා දෙයි.

“මෙවැනි ගෝලීය බලපෑම් හමුවේ ඉදිරියට යාම ලෙහෙසි පහසු නැහැ. නමුත් අතීතයට සාපේක්ෂව වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය රාමුව වඩාත් ශක්තිමත් මට්ටමක පවතිනවා.”

මෙම ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්ථාවර ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් තිබීම සහ වෙනස් වන ලෝක ආර්ථික තත්ත්වයන්ට අනුව හැඩගැසීමට ආර්ථිකයට ඉඩ ප්‍රස්ථාව ලබා දීම අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බලධාරීන් සමඟ අඛණ්ඩව සහ ඉතා සමීපව කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂාවෙන් පසුවන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *