රණවිරු සැමරුමට පෙර පුහුණුවීමේදී රණවිරු ස්මාරකය පිහිටි භූමියට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (22) උදෑසන 10.00ට තලංගම පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් පහළ වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම කර ඇත. අදාළ දැනුම් දීමට අනුව වගඋත්තරකාර විමල් වීරවංශ මහතා එදිනට පොලීසිය වෙත නොපැමිණියහොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 172 වගන්තියට අනුව දඬුවම් කිරීමට ලබන 26 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ජනරාශිය, අයුතු ඇතුළු වීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ තලංගම පොලීසිය විසින් පෙරේදා (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදු කර තිබුණි.