ශ්‍රි ලංකාවේ ප්‍රථම බලශක්ති ගබඩා බැටරි පද්ධතිය ගාල්ලේ ස්ථාපිත කිරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති පද්ධතිය (Battery Energy Storage System – BESS) මෙරටට රැගෙන විත් තිබේ.

මේ දිනවල ගාල්ල බටදුව විදුලි උපපොළේ සවිකිරීම සඳහා ගෙනා බැටරි උණවටුන දලවැල්ල ප්‍රදේශයේ තාවකාලිකව තබා ඇති අතර, ඒවා කඩිනමින් බටදුව උපපොළේ ස්ථාපනය කිරීමට නියමිතව ඇත.

මෙය 2025 ජූලි මස 30 වැනි දින රජය විසින් 160MW-640MW ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා ව්‍යාපෘති සඳහා කැඳවන ලද ජාත්‍යන්තර ටෙන්ඩරයක ප්‍රතිඵලයකි.

ඒ අනුව දිවයින පුරා පිහිටි විදුලි සම්ප්‍රේෂණ උපපොළ ස්ථාන 16ක් සඳහා ආයතන 4ක් තෝරාගෙන මෙම ව්‍යාපෘතිය පවරා ඇත.

එහි එක් පියවරක් ලෙස, ගාල්ල සහ මාතර උපපොළවල් සඳහා ලොව ප්‍රමුඛ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයෙකු වන WKV Hydro Group ආයතනයට අනුබද්ධ Galilee Bess (Pvt) Ltd සමාගම මඟින් පද්ධති ස්ථාපිත කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා Sungrow Power සමාගම තාක්ෂණික දායකත්වය සපයන අතර, ජාතික පද්ධති මෙහෙයවන්නා වන NSO (National System Operator Ltd) සමාගම අවශ්‍ය සහයෝගීතාව ලබා දෙයි.

සැලසුම් කර ඇති පරිදි ගාල්ල උපපොළේ ස්ථාපන කටයුතු ජූලි මාසයේදීත්, මාතර උපපොළේ කටයුතු අගෝස්තු මාසයේදීත් අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.

මෙම පද්ධතිය මඟින් දහවල් කාලයේදී 80MW ක විදුලි ධාරිතාවක් ගබඩා කර තබා ගන්නා අතර, රාත්‍රී කාලයේදී විදුලි ඉල්ලුම උපරිම වන අවස්ථාවලදී එය නැවත ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි.

වර්තමාන ඉන්ධන මිල ගණන් අනුව, ඩීසල් බලාගාර මඟින් විදුලිය උත්පාදනය කිරීමට සාපේක්ෂව මෙම තාක්ෂණය භාවිතයෙන් මාසිකව රුපියල් මිලියන 200ක පමණ දැවැන්ත මුදලක් ඉතිරි කරගත හැක.

මීට අමතරව, කාබන් විමෝචනය සහ වායු දූෂණය අවම කිරීම මඟින් රටට සුවිශාල පාරිසරික වාසියක් ද හිමි වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *