දේපල පවරාගෙන මව්පියන්ට නොසලකන දරුවන්ගේ දේපළ රාජසන්තකයි – නව නීති ළඟදීම පාර්ලිමේන්තුවට

මව්පියන් සතු වූ දේපළ පවරා ගැනීමෙන් අනතුරුව එම මව්පියන්ට නොසලකා හැර ඔවුන් වැඩිහිටි නිවාසවලට යොමු කරන දරුවන් සතු එම දේපළ රාජසන්තක කිරීමට රජය පියවර ගන්නා බව ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුන් පැවසීය.

එම දේපළ රාජසන්තක කිරීමෙන් අනතුරුව එම මව්පියන් රැක බලාගැනීමේ වගකීම රජය බාර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

මීට අදාළ අණ පනත් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් එම සංශෝධන මේ වන වට නීති කෙටුම්පත් අංශය වෙත යොමු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඇතැම් දරුවන් මව්පියන් සතු දේපළ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් ඔවුන්ගේ නම්වලට ලියාගෙන ඔවුන් වැඩිහිටි නිවාසවලට යොමු කරන බවට හා නොසලකා හරින බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු පැවසීය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ අණ පනත් ශක්තිමත් කළ පසු මව්පියන්ට නොසලකා සිටීමට දරුවන්ට ඉඩක් නොලැබෙන බව අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මව්පියන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ පෝෂණය මෙන්ම සෞඛ්‍යාරක්ෂාවව සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *