සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය අනුව එහි දෙවැනි සැකකරු සහ තුන්වැනි සැකකරු අධිකරණයට පැමිණ බාරවූහ.
පළමු සැකකරු වන්නේ බැසිල් රාජපක්ෂය. දෙවැනි සැකකරු වන්නේ 2014 වසරේ අදාල කාල වකවානුවේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති භාෂ්වර ගුණරත්න වන අතර තෙවැනි සැකකරු වන්නේ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්ය.
අධිකරණයට බාර වූ දෙවැනි සැකකාර භාෂ්වර ගුණරත්න වෙනුවෙන් කරුණු දැක්වූයේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාය. සංචාරක ප්‍රවර්ධන කාර්යංශයෙන් ටීෂර්ට් මුද්‍රණය සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට චෙක්පතකට ඔහු අත්සන් කර ඇති බවත්, ඔහුගේ නිල රාජකාරියේ කොටසක් බවත්, කෙසේ වෙතත් ඉන් පසු එම ටීෂර්ට් වෙනුවට අදාල මුදල්වලින් මැතිවරණ ප්‍රචාරණයට අදාල ටීෂර්ට් මුද්‍රණය කළැයි කියන සිද්ධියෙන් පසු ඉතිරිගෙවීම් කිසිවකට සභාපතිවරයා අත්සන් කර නැති බවත්, 2015 මෙහි විමර්ශන ආරම්භ වූ මොහොතේ සිට සියලු කටයුතු සඳහා ඔහු සහයෝගය ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා දීර්ඝ වේලාවක් ලබාගෙන පැහැදිලි කළේය.
ජනාධිපති නීතිඥවරයා එය පැහැදිලි කරන අවස්ථාවේදී විත්තිකූඩුවේ සිටි භාෂ්වර ගුණරත්න මහතා හඬන්නට විය. ටික වේලාවකින් කඳුළු පිහදාගෙන සාක්කුවට අත තමා මාස්ක් එකක් ගෙන එය පැළඳ ගත්තේය. එය පැළඳගෙන සිටියද ඔහුගේ දෑසින් කඳුළු වැටෙන්නට විය.
විමර්ශන නිලධාරීන්ද භාෂ්වර මහතා විමර්ශනවලට සහයෝගය දැක්වූ බව පිළිගත්තේය.
ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.
තෙවැනි සැකකරු වූ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ හිටපු කළමනාකාර අධ්යක්ෂ රූමි ජවුෆර්ගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ ඔහු සම්බන්ධයෙන් අද දින ඇප අයදුමක් ඉදිරිපත් නොකරන බවයි. ඔහුගේ ජනාධිපති නීතිඥවරයා ඉදිරි දිනයේ දී ඔහුගේ ඇප අයදුම සිදු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කීවේය. විමර්ශන නිලධාරීන් සඳහන් කළේ ආයතනයේ ටීෂර්ට් මුද්‍රණයට වෙන් කළ මුදලින් පළමු සැකකාර බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම යටතේ මැතිවරණ ප්‍රචාරණය සඳහා වෙනත් ටීෂර්ට් වර්ගයක් මුද්‍රණය කර මොණරාගල ප්‍රදේශයේ බෙදා හැර ඇති බවයි. අත්තිකාරම් මුදල ගෙවූ පසු අදාල ටීෂර්ට් නොලැබී තිබියදීත් තුන් වැනි සැකකරු ඉතිරි මුදල් ගෙවීමට චෙක්පත්වලට අත්සන් කර ඇති බව විමර්ශන නිලධාරීහු කීහ. ඔහුට ඇප ඉල්ලමින් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොකිරීම මත ඔහු රිමාන්ඩ් කෙරිණි.
ඔහු රිමාන්ඩ කරන නියෝගයෙන් පසු ඔහුව අධිකරණ ශාලාවේ සිරමැදිරියට රැගෙන යද්දී ඔහුගේ බිරිඳද හඬනු දක්නට ලැබිණි.
මෙම නඩුවට අදාලව පළමු සැකකරු ලෙස නම් කර සිටින බැසිල් රාජපක්ෂ ලංකාවේ නොසිටින බැවින් ඔහුට පෙනී සිටින ලෙසට නොතීසියක් නිකුත් කරන්නැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එවිට නිලධාරීන්ගෙන් විමසුවේ සංඥය වරදක් සිදු කළ පුද්ගලයකු සඳහා අධිකරණ නියෝගයක් නොමැතිව සිරබාරයට ගත හැකිව සිටියදී නොතීසි ඉල්ලන්නේ මන්ද යන්නයි. ඔහු රටින් ගොස් සිටීනම් විමර්ශන නිලධාරීන් කළ යුත්තේ දිවුරුම් ප්‍රකාශයක් සමග ජාත්‍යන්තරව ක්‍රියාත්මක කර ගැනීම සඳහා වරෙන්තුවක් ඉල්ලා සිටීම මිස සිතාසි ඉල්ලා සිටීම නොවන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ දැන් රටෙන් නැත. එහෙත් ඔහු නිලා අසරණවූ නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට දැන් සිදුවී ඇත්තේ හඬා වැටෙන්නටය. අදාල නිලධාරියා හඬමින් මාස්ක් එක දාගත්පසු මා අසලම සිටි මාධ්‍යවේදී ෆසීර්ට ද ඔහු හඬන බව පෙන්වා සිටියේය. අන්තිමේ ඒ නිලධාරීන්ට මුදල් වියදම් කර නඩු කියන්නට සිදුවී තිබේ. අපරාධකරුවන් වෙනුවෙන් උපවාස කරන පිරිස්වත් අද මේ නිලධාරීන් වෙනුවෙන් නැත.