පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගහන්න ඉඩ දෙන්නේ නැහැ – විමර්ශනවලට ඇතැමුන් බියවෙලා – කාදිනල් හිමි කියයි

පාස්කු විමර්ශනවලට ඇතැමුන් බියවෙලා. පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවැසූහ.

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ 192 වැනි වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් පැවැති විශේෂ දේවමෙහෙය අතරේදී එසේ කී අගරදගුරුතුමා මෙසේ ද කීහ.

“එදා මා පිට පිටම රට කරවන ඇත්තන්ගෙන් ඉල්ලා සිටියේ මේ ප්‍රහාරය පිළිබඳව සියලුම සාක්ෂි මෙන්ම සිදුවූ සියලු දෑ පිළිබඳව විනිවිද පෙනෙන විමර්ශනයක් කරමින් මහා මිනීමැරුම ගැන සත්‍යවාදීව තොරතරු සොයා අපට ද, රටට ද ඒවා හෙළිදරව් කරන ලෙසයි. එදා බලයේ සිටි අය යටගැසූ බොහෝ දේ මේ වනවිට හෙළි වෙමින් පවතින බව අපට පෙනෙනවා. නව සාක්ෂි සහ එදා බලයේ සිටි අයගේ ඇතැම් සාක්ෂිකරුවන් නිහඬව සිටීම වෙනස්වී අද වනවිට ඒ සාක්ෂි මෙම මිනීමැරුමේ පසුබිම තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් පිළිබඳව පෙන්නුම් කරන අයුරින් ඉදිරියට එමින් පවතිනවා.

“මෙම නව සාක්ෂි ඉදිරියට ඒම තුළ මිනීමරුවන් පිටුපස දේශපාලනික කුමන්ත්‍රණයක් සිදුවූ බවට කරුණු ඉස්මතු වී තිබෙනවා. එසේ නම් අදාළ අංශ කළ යුත්තේ කිසිවකුගේත් බාධා කිරීම් ඉදිරියේ බියනොවී මේ පිළිබඳව සත්‍ය සොයා යෑමට සියලුම සාක්ෂි මැනවින් විග්‍රහ කරමින් තවදුරටත් කටයුතු කිරීමයි.

“ඇත්තෙන්ම මේ සාක්ෂි විග්‍රහය, තමන් මේ තාක් කළ සමාජය ඉදිරියේ ගොඩනඟාගෙන තිබූ දේශපාලන ප්‍රතිරූපයට තර්ජනයක් වන්නේ යැයි සිතන ඇතැම් අයගේ දැඩි බාධාකිරීම්වලට ගොදුරුවීම ස්වභාවික සිදුවීමක් පමණයි. ඒවාට අපි බිය විය යුතු නැහැ. මේ සත්‍යය සොයා යන්නන්ට දොස් හා මඩ තැවරීම් කළත් පෙළපාලි හා සත්‍යග්‍රහ සංවිධානය කළත්, අපි ඒ ගැන අබමල් රේණුවක් තරම්වත් බිය විය යුතු නැහැ. අපි මේ රජයෙන් ද සියලු විමර්ශකයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ තමන් ගෙනයන විමර්ශන ගැන අධෛර්යවත් නොවී ඒවා ඉදිරියටම කරගෙන යන ලෙසයි.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍යය යට ගසන්නට කිසිසේත් අපි ඉඩ නොදිය යුතුයි. කව්රු හරි කෙනෙක් එසේ ප්‍රශ්න කිරීම්වලින් වරදක් කරලා නැතැයි කියලා කියනවා නම් ඒ අයව රඳවාගෙන තබා ගන්නට අවශ්‍ය නැහැ. එහෙම නම් ඔවුන්ව නිදහස් කරන්න ඕනෑ. ඒක තමයි රටේ නීතිය. එතකොට ඒකට අපි තරහ වෙන්නේ නැහැ. කාව හරි අත්අඩංගුවට අරගෙන වරදක් කරලා නැතැයි කියලා ඔප්පු වුණොත් නිදහස් කරන එකේ වරදක් නැහැ. නමුත් වරදක් කරලා තියෙනවා කියලා කරුණු තියෙනවා නම් ඒ අය ඒ ගැන උත්තර දිය යුතුයි. තමන් දන්න දේ හෙළිදරව් කළ යුතුයි. එතකොට තමයි යුක්තිය කියන එක හෙළි කරන්න පුළුවන් වන්නේ රටට.

“මිනිස් ජීවිත 278 ක් නැති කරලා දරු පවුල් අනාථ කරලා බලය ලබාගැනීම සඳහා යම්කිසි කෙනෙක් කුමන්ත්‍රණය කළා නම් ඔවුන්ට හරියන්නේ නැහැ කවදාකවත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *