මෙම වසරේදී අලුතින් ගුරුවරුන් 30,000කට ආසන්න පිරිසක් බඳවා ගනිමින් මෙරට ඉතිහාසයේ රජයක් විසින් වැඩිම ගුරුවරුන් බඳවා ගැනීම් සිදු කරන වැඩසටහන ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
මෙම බඳවා ගැනීමේ වැඩසටහන යටතේ උපාධිධාරි ගුරුවරුන් 23,000ක්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලැබූ ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපන උපාධිධාරි සේවයට එකතු කරගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අනුරාධපුරයේදී මේ බව කියා සිටියාය. අධ්‍යාපන ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ඉදිරියේදී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් හා ගුරු උපදේශකයන් ද ක්‍රමයෙන් බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ගුරු හිඟයට පිළියම් යෙදීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ගුරු ව්‍යාප්තිය, අධ්‍යාපන පරිපාලනය සහ දත්ත කළමනාකරණය ආශ්රිත ගැටලුවලට විසඳුම් සෙවීම වැදගත් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරන බවත්, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් සෑම උත්සාහයක්ම ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.