
දිට්වා’ සුළි කුණාටුවෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල හා නානුඔය අතර දුම්රිය මාර්ගය පිළිසකර කර හෙට (20) සිට විශේෂ දුම්රිය කාලසටහනක් යටතේ බදුල්ල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අඹේවෙල – නානුඔය අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 134 දම්වැල් 78 ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය අඩි 65ක් ගැඹුරට, අඩි 100ක් පළලට සහ අඩි 120ක් දුරට ගොස් ඇත.
කඳු බෑවුම් සහිත තත්ත්වය, එම ප්‍රදේශයට ළඟා වීම සඳහා විකල්ප සැපයුම් මාර්ග නොමැති වීම, පවතිත අයහපත් දේශගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා ඇති විය. එසේම අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය දුම්රිය මඟින්ම ප්‍රවාහනය කිරීමට සිදු වීම යන අභියෝග මධ්‍යයේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු විය. ඒ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව සිදු කළ ප්‍රතිසංස්කරණවලිනි.
මේ වන විට මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයකට පත්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් බදුල්ල සිට අඹේවෙල දක්වා ධාවනය කළ දුම්රිය දෙස් විදෙස් සංචාරකයන් අතර ආකර්ෂණීය දුම්රිය ස්ථානයක් වන නානුඔය දුම්රිය ස්ථානය දක්වා හෙට සිට ධාවනය වේ.
ඒ සම්බන්ධයෙන් වූ දුම්රිය ධාවන කාලසටහනක්ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. සෑම දුම්රියකම, පළමු පන්තියේ (වායු සමනය කළ) හා දෙවැනි පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම සහිත මැදිරි පවති.
https://seatreservation.railway.gov.lk සබැඳිය ඔස්සේ හෝ ආසන වෙන් කිරීමේ පහසුකම සලසා ඇති දුම්රිය ස්ථානයකට පැමිණීමෙන් හෝ මෙම දුම්රියවල ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සලසා ඇත.
ගමන ආරම්භක හෝ ගමන අවසාන දුම්රිය ස්ථානය ලෙස අඹේවෙල දුම්රිය ස්ථානය සඳහන් මේ වන විටත් ලබාගෙන ඇති වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍රම භාවිත කර නානුඔය සිට ගමන් ආරම්භ කිරීමට හෝ නානුඔය දුම්රිය ස්ථානයෙන් තම ගමන අවසන් කිරීමට අවසර ඇත. දුම්රිය කාලසටහන පහත දැක්වේ.