බැසිල්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවීමට ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් නැවත කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

මාතර, එළියකන්ද පාරේ බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබූ අතර, පසුගිය මැයි මස 22 වන දින පැවැති නඩු වාරයට ඔහු පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.

එදින බැසිල් රාජපක්ෂ, වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

අද දින බැසිල් රාජපක්ෂගේ නීතිඥවරුන් විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින්, සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ වරෙන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ඇති අතර, , ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක සඳහන් කර ඇත්තේ, සැකකරු දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටින බවයි.

එමෙන්ම, සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් නොවී, ඔහු නොමැතිව වරෙන්තුව නැවත කැඳවීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව, වරෙන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, බැසිල් රාජපක්ෂට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *