රජය විසින් ‘මෙට්‍රෝ බස්’ නමින් බස් ගෙනැවිත්, නීතිවිරෝධීව බස් රථ ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ අනුව, එම බස් රථ සඳහා නීතියක් නොමැති අතර, එහි මගීන් සිටගෙන ද යන බවත්, එම බස් රථයක දිනක ආදායම ප්‍රසිද්ධ කරන ලෙසට තමන් අභියෝග කර සිටින බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.
මෙට්‍රෝ නමින් වෙනම සමාගමක් නොමැති අතර, මෙය මහා භාණ්ඩාගාරය 60% ක් හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 40% ක් ලෙස එක්ව පවත්වාගෙන යන බවත්, මෙය ‘අක්කා පෙන්වා නංගි දුන්නා’ වැනි වැඩක් බවත්, මෙය වෙන කිසිවක් නොව ලංගම ලෙසම ක්‍රියාත්මක වන බවත් ඔහු ප්‍රකාශ කළා.
දැනට ධාවනය වන කිසිදු පෞද්ගලික බස් රථයක් ස්වයංක්‍රීය ගියර් පද්ධති සහිතව ධාවනය නොවන බවත්, ඒ හරහා විශාල ඩීසල් ප්‍රමාණයක් දහනය වන බවත්, නමුත් මෙට්‍රෝ බස් ස්වයංක්‍රීය ගියර් පද්ධති භාවිත කරන අතර ඒ හරහා වැඩි ඩීසල් ප්‍රමාණයක් වැය වන බැවින් මෙහි ශක්‍යතා අධ්‍යයනය කළේ කවුරුන්ද යන්න ගැටලු මතුවන බවත් ඔහු සඳහන් කළා.
තවත් මෙට්‍රෝ බස් රථ 100 ක් ගෙන එන බවට සඳහන් කරන අතර, එයින් බස් කර්මාන්තයට තවත් බර වැඩිවන බවත්, පෞද්ගලික බස් රථ කර්මාන්තය පවත්වාගෙන යන්නේ බොහෝ සෙයින් අපහසුතා මැද බැවින්, තමන් තවත් පාඩු ලබන තත්ත්වයට පත්වන බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.