ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන තම රටේ ආයෝජකයන් විශාල පිරිසක් මෙරට ආයෝජනය සඳහා සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ ප්‍රංස තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) මහතා ප්‍රකාශ කරයි. තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා සමඟ පැවැති නිල හමුවේදී මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය අනුව ප්‍රංසයේ සමාගම් බොහොමයක් මෙරට ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කළ තානාපතිවරයා ඒ අනුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ සංවර්ධන කටයුතු සඳහා අයදුම් කිරීමට ප්‍රංස සමාගම් බලාපොරොත්තුවෙන් පසුවන බවද පැවසීය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) ප්‍රංස ආධාර ඇතිව පවත්වාගෙන යනු ලබන සමුද්‍රීය අධ්‍යයන (Maritime Studies) වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට ප්‍රංස ජනාධිපතිවරයා කැමැත්ත පළකර ඇති බව මෙහිදී තානාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදු පතුල ආශ්‍රිත ජලලේඛන විද්‍යාත්මක (Hydrography) පර්යේෂණ සිදු කිරීම සඳහා ප්‍රංස සමාගම් බලාපොරොත්තු වන බවද පෙන්වා දුන්නේය.
ප්‍රංස සංවර්ධන නියෝජිතායතනය (AFD) මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යුරෝ මිලියන 40ක මුදලක් වෙන්කර ඇත. ඊට අදාළ අවබෝධතා ගිවිසුම (MOU) කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය. හයිටි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් හමුදාව යවා සහයෝගය දැක්වීමේ කටයුතුවලට ප්‍රංස රජයේ සහය හිමිවන බව තානාපතිවරයා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී හා ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සැම විටම සහයෝගය දීමට ප්‍රංස රජය බලාපොරොත්තු වන බව ද හෙතෙම අවධාරණය කළේය. ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රංසයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඊට අදාළ සැලසුම් හා වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට ප්‍රංස ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත්, එම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ප්‍රංස සමාගම් විදේශ අමාත්‍යවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් තානාපති රෙමී ලැම්බර්ට් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.