බන්ධනාගාරයට යන්න බැරි තරම් ලෙඩ නම් ඩුබායි ගියේ කොහොමද ? චරිත් සහ රඛිත ගැන මහේස්ත්‍රාත් අහයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකව සිටි චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනා ජූලි 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේ ය.

කප්පම් ඩීල් එක

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය විමර්ශනවලට අදාළ බරපතළ කරුණු රැසක් අනාවරණය කළාය.

අල්ලස් කොමිසමට ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව ආරම්භ කළ මෙම විමර්ශනයේදී, පළමු සැකකාර චරිත් අබේසිංහ සහ හරක් කටාගේ ඩුබායි හි සිටින හිතවතෙකු වන හර්බි නමැත්තා අතර සිදුවූ දුරකතන සංවාදයක් සොයාගෙන තිබේ.

එහිදී චරිත් අබේසිංහ පවසා ඇත්තේ මාකඳුරේ මධුෂ්ට අත් වූ ඉරණම හරක් කටාට ද අත්විය හැකි බවත්, එය වළක්වා ජීවිත ආරක්ෂාව ලබාදීමට නම් ඔහුගේ රැඳවුම් නියෝග (DO) ඉවත් කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට නොයවා වෙනත් බන්ධනාගාරයකට මාරු කර දිය හැකි බවත්ය. මෙම කාල වකවානුව වන විට රඛිත රාජපක්ෂගේ පියා වූ විජයදාස රාජපක්ෂ බන්ධනාගාර විෂය භාර අමාත්‍යවරයා ලෙසද කටයුතු කිරීම මෙහිදී අතිශය තීරණාත්මක සාධකයකි.

ඉන්පසු, 2023 මාර්තු මස 25 වන දා රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට ගොස් හර්බිගේ නිවසේදී හරක් කටාගේ බිරිඳ වන මදුශානිව සහ මිදිගම රුවන් නමැත්තාව මුණගැසී ඇත.

මෙම කටයුත්ත වෙනුවෙන් මුලින් රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එය කෝටි 30කටත්, අවසානයේ කෝටි 20කටත් අඩු කරගෙන තිබේ.

ඉන් රුපියල් කෝටි 12ක මුදලක් (ඩිරාම්වලින්) අත්තිකාරම් වශයෙන්, එක් අවස්ථාවකදී කෝටි 10ක් සහ පසුදා කෝටි 2ක් ලෙස හරක් කටාගේ බිරිඳගෙන් ලබාගෙන ඇත.

වඩාත් විශේෂිත කරුණ වන්නේ මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයට දැන්වීමයි.

නමුත් මුදල් ලබාගත් පසු පොරොන්දු වූ පරිදි රැඳවුම් නියෝග ඉවත් වීමක් හෝ බන්ධනාගාර මාරු කිරීමක් සිදු නොවූ බැවින්, හරක් කටාගේ බිරිඳ එම මුදල් ආපසු ඉල්ලා හර්බිට බලපෑම් කර තිබේ. එහිදී චරිත් අබේසිංහ පවසා ඇත්තේ කෝටි දෙකක මුදලක් පමණක් ආපසු දිය හැකි බවත්, එම මුදල මෑතකදී ඝාතනය වූ මිදිගම ලසා හෙවත් ලසන්ත වික්‍රමසේකර මාර්ගයෙන් ආපසු ලබා දී ඇති බවත් අධිකරණයේදී හෙළි විය.

සැකකරුවන්ට ලෙඩ

මෙම බරපතළ චෝදනා හමුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා සෞඛ්‍යමය හේතු සහ නෛතික හිඩැස් පෙන්වා දීමට දැඩි උත්සාහයක නිරත විය.

ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා නීතිඥවරයෙකු බැවින් බන්ධනාගාරගත වුවහොත් ඔහු භාරගෙන ඇති නඩුවලට පෙනී සිටීමට නොහැකි වන බවයි. එසේම ඔහු “ස්ලීප් ඇප්නියා” (Sleep Apnea – නින්දෙන් හුස්ම හිරවීමේ රෝගය) තත්ත්වයෙන් පෙළෙන බැවින් බන්ධනාගාරගත කිරීම ජීවිත අවදානමක් විය හැකි බව පවසමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේය. ඊට අමතරව දූෂණ විරෝධී පනත යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් භාෂාමය තර්කයක් ගෙන ආ ඔහු, පනතේ ඉංග්‍රීසි පිටපතේ “Detection” (අත්අඩංගුවට ගැනීමේ මොහොත) ලෙස තිබුණද සිංහල පිටපතේ “අනාවරණය වන” ලෙස ඇති බැවින් පරණ සිද්ධීන්වලට මෙම පනත යටතේ නඩු පැවරිය නොහැකි බවට තර්ක කළේය.

චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට ස්ටෙන්ට් හතරක් දමා ඇති බවත්, තවත් පහක් දැමීමට නියමිතව ඇති බවත්ය. “අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග දැන් ඔහුට අවාසනාවකට මෙන් වැළඳිලා තිබෙනවා” යැයි කියමින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

අරුණ ශ්‍රී චතුරංග වෙනුවෙන් නීතීඥ ගීත් කරුණාරත්න මහතා අධිකරණයට කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැකකරුවන්ට ඇප ලබාදීම වැළැක්වීමේ අරමුණින් නිකුත් කර ඇති සහතිකය නීත්‍යානුකූල නොවන බවයි.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව

ඉදිරිපත් වූ සියලු කරුණු සහ නීති තර්ක සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, විත්තියේ තර්ක දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නීත්‍යනුකූල බව අධිකරණය තීරණය කළේය.

සෞඛ්‍ය තත්ත්වයන් පෙන්වා දෙමින් ඇප ඉල්ලූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නැගූ තර්කානුකූල ප්‍රශ්නයෙන් විත්තිය නිරුත්තර විය. “බන්ධනාගාරයකට යන්න බැරි තරම් බරපතළ රෝගී තත්ත්වයක් තියෙනවා නම්, මේ අය කොහොමද ඩුබායි ගියේ?” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා එහිදී විමසා සිටියේය.

එපමණක් නොව, බන්ධනාගාරයේ පහසුකම් නැති බවට රඛිත රාජපක්ෂගේ නීතිඥයන් ගෙන ආ තර්කයට මහේස්ත්‍රාත්වරයා දුන්නේ කදිම පිළිතුරකි. රඛිතගේ පියා (විජයදාස රාජපක්ෂ) විෂය භාර අමාත්‍යවරයාව සිටි සමයේදීම බන්ධනාගාරවල 10,000ක ධාරිතාව වෙනුවට 40,000ක් සිටින බව ප්‍රකාශ කර ඇති බැවින්, බන්ධනාගාරයේ තදබදය සහ පහසුකම් නොමැතිකම සාමාන්‍ය තත්ත්වයක් බව අධිකරණය පෙන්වා දුන්නේය.

ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල රෝගී තත්ත්වයන් පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීම් නොමැති බැවින් ඒවා ඇප ලබාදීමට තරම් “සුවිශේෂී කරුණු” ලෙස සැලකිය නොහැකි බව තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් තිදෙනාම ජූලි 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Source – whatnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *