පුද පූජා කටයුතු සඳහා විශාල වශයෙන් පිටරටින් ගෙන්වනු ලබන මල් වර්ග භාවිත කිරීම හේතුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළු දිවයිනේ බෝධි රුක්වල බෝ පත්වලට කෘමි හානි සිදුවීමේ අනතුරක් පවතින බව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සෞඛය තත්ත්වය පිළිබඳව භාර උද්භිද විද්‍යාඥ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ හිටපු අධ්යක්ෂ භාතිය සුමිත්‍රාරච්චි පැවසීය.
බෝ පත් දලු ලන සමයේ කුඩිත්තකු විසින් මෙම ශාක පත්රවලට හානි පමුණුවන බවත් බොහෝ පූජා කටයුතුවලට විදේශ රටවලින් ගෙන්වන පිච්ච මල් සමග මෙම කෘමි අනතුර මෙරටට පැමිණෙන්ට ඇතැයි විශ්වාස කරන බවත් මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක් වූ හිටපු අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ ය.
“මේ ගැටලුකාරී තත්ත්වය දැනට වසර අටක දහයක කාලයේ සිට පැවැත එන තත්ත්වයක්. මෙතැනදී ‘බෝ දලු කුඩිත්තා’ නම් කෘමි විශේෂයක් බෝධීන් වහන්සේලා දලුලන කාලෙට පත්‍ර හූරලා බොනවා. මේ රෝගය වැලදුන්නොත් පත්‍ර රෝල් වෙලා, දුඹුරු වෙලා වැටෙන තත්ත්වයක් ඇතිවෙනවා. මහාචාර්ය සරත් කොටගම මහතා සමග කරපු පර්යේෂණ අනුව අපි අනුමාන කරනවා මේ තත්ත්වය ඇති වෙන්න විදේශවලින් ආනයනය කරපු පිච්චමල් මෙයට හේතු වෙන්න ඇති කියලා. මොකද මේක කලින් අපේ රටේ තිබුණු තත්ත්වයක් නෙමෙයි. මේ තත්ත්වය අපි මුලින්ම හඳුනා ගත්තෙත් ජය ශ්‍රී මහ බෝධියෙන් ම තමයි.”
කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රතිකාර කිරීම දැනට කරගෙන යන බවත් දේශීය මල් විශේෂයන්ම පුද පූජා සඳහා භාවිත කිරීම ඉතා යෝග්‍ය බවත් පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානය ද මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කළ යුතු බවත් භාතිය සුමිත්‍රාරච්චි වැඩිදුරටත් පැවසීය.