ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත් සමාගමේ සේවක ගැටළු සම්බන්ධව විමර්ෂණයක් කරන ලෙස කම්කරු ඇමති නියෝග කරයි

කොළඹ – 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි සිලෝන් නිස්පේපර්ස් පුද්ගලික ආයතනයේ සේවක ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙත උපදෙස් ලබාදී තිබේ.

අදාළ ආයතනයේ සේවකයන් අනීතික ලෙස සේවයෙන් ඉවත් කිරීම, වැටුප් නොගෙවීම, පාරිතෝෂික නොගෙවීම, සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා දායක මුදල් නොගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම්දී ඇත.

පසුගිය කාලසීමාව තුළ සිලෝන් නිව්නේ පර්ස් පුද්ගලික ආයතනයේ සේවකයන් රැසක් විවිධ සේවා ගැටලු වලට මුහුණපා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

එමෙන්ම, තමන්ට සිදු වූ අසාධාරණකම් සම්බන්ධයෙන් සේවකයන් කිහිපදෙනෙකු මේ වන විටත් කම්කරු දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

සේවා ස්ථානවල පැන නගින කම්කරු ආරවුල් සහ ගැටලු සම්බන්ධයෙන් සේව්‍ය හා සේවක දෙපාර්ශ්වයට එකඟතාවකට පැමිණීමට නොහැකි වන අවස්ථා වලදී ප්‍රමාදයකින් තොරව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන ලෙසද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සේව්‍ය සේවක දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *