දශකයකට පසු ශ්‍රී ලංකාව තුළ සහල් අතිරික්තයක් නිර්මාණය වී ඇති පසුබිමක, රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
සාකච්ඡාවේදී ගොවීන්ට වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120ක සහතික මිලක් ලැබෙන අතරම, පාරිභෝගිකයන්ට සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220ත් 260ත් අතර සාධාරණ මිලකට ලබාගත හැකි වෙළෙඳපොළ පසුබිමක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
පොහොර සහනාධාරය ඉහළ නැංවීමෙන් ගොවීන්ට ලැබුණු සහන, සහතික මිලට වී මිලදී ගැනීමේදී මෝල් හිමියන් මුහුණ දෙන බාධා සහ ඒ සඳහා රජයෙන් ලබාදිය හැකි සහන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ප්ලෙජ් ණය (ඵ්ලෙඩ්ගෙ ළොඅන්ස්) ලබාගැනීමේදී පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම, රටේ අවශ්‍යතාවයට ගැළපෙන වී ප්‍රභේද විද්‍යාත්මක සැලසුමක් යටතේ වගා කිරීමේ වැදගත්කම පිළිබඳව ද සහල් මෝල් හිමියන්ගේ අවධානය යොමු වූ බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ගොවියා, ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා යන සැපයුම් දාමයේ සියලු පාර්ශ්වයන්ට සාධාරණ ප්‍රතිලාභ හිමිවන ආර්ථික පරිසරයක් ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය බවයි.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.