ශෂින්ද්‍ර රාජපක්ෂට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා නිල වශයෙන් බාර දෙයි

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදුවුණා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ භාරදීම සිදුවුණා.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළා.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කළා

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම්කර තිබුණා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *