මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණි.කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීම සිදුවිය.එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සී.එස්.එන් රූපවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කළ ද යසාරා අබේනායක කියාසිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධයක් පැවැති බවත් තමා සී. එස්. එන්. නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් ක්‍රියාකළ බවයි.
“නමුත් යෝෂිත සමග පැවති සම්බන්ධය ගැලපීමක් නැති බව ගෙවල්වලින් කියාසිටියා. ඒ නිසා එම සම්බන්ධය බිදී ගියා. 2013 වසරේ පමණ තමයි එම සම්බන්ධය අවසන් වුණේ. මෙම නඩුවට පාදක වන දෙහිවල, මිහිදු මාවතේ පිහිටි නිවසට මම ගිහින් තියෙනවා. අපි විවාහ වෙලා එම නිවසේ පදිංචියට යන්නයි හිටියේ. යෝෂිත තමයි මේ ගේ හැදුවේ. මේ ගේ හදන කාලේ යෝෂිත නාවික හමුදාවේ වැඩ කළා. සී. එස්. එන්. නාලිකාවේ වැඩ වලට යෝෂිත උදව් කළා. ” යනුවෙන් සඳහන් කළා.
මෙහිදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මතුකළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකාරිය මෙම නිවස විශාල නිවසක් බවත් එහි කාමර විශාල සංඛ්‍යාවක් තිබූ බවත් පැවසුවා.ඉන් අනතුරුව රත්මලාන ප්‍රදේශයේ පදිංචි ලූෂන් රත්නායක නමැත්තා සාක්ෂි දෙමින්,
“රත්මලාන, කෙකටිය පාරේ පිහිටි තම ඉඩමක් විකිණීමට සූදානම් වු බව සඳහන් කළා. මේ ඉඩම පර්චස් 31 ක් පමණ විශාලයි. එය විකිණීමේ කාර්යය මගේ හිතවතෙකු වන වසන්ත කුමාර ජයසූරිය වෙත පැවරුවා. ඔහු ගැනුම්කරුවෙක් අරං ආවා. ඒ ගැනුම්කරු කව්ද කියලා කිව්වේ නෑ.” යනුවෙන් සඳහන් කරමින් සාක්ෂිකරු සිනාසුණේය.
ඒ අවස්ථාවේදී සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමුකළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ” ඇයි ඔබ හිනාවෙන්නේ. ඔබ ඇහැව්වේ නැත්ද ඉඩම ගන්නේ කව්ද කියලා. ” යනුවෙන් විමසුවේය.ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු මම ඇහූවේ නෑ” යනුවෙන් සිනාසෙමින් යළි පිළිතුරු දුන්නේය.