ශ්‍රී ලංකා රජයේ ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර වී තිබෙනවා ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපති KAMOSHIDA Naoaki මහතා පවසනවා.
ඒ අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
මේ වන විට ස්ථාවර වර්ධනයක් කරා නැවත ගමන් කිරීමේ ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බවත් විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩ ඊට සහයෝගය ලබා දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
”මෙම ව්‍යාපෘතිය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ සියලුම දෙනාගේ කැපවීම නිසා අපට අද මෙම මුල්ගල් තැබීමේ උත්සවය දැකබලා ගැනීමට හැකි වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අපි සැවොම එක්ව කටයුතු කරමු. ජලය නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකියි. පිරිසිදු සහ ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම ජනතාවගේ ජීවිත සඳහා අත්‍යවශ්‍ය වෙනවා.
ජනතාවගේ ජීවනෝපාය රඳා පවතින කෘෂිකර්මාන්ත සඳහාද ස්ථාවර ජල සැපයුමක් වැදගත් වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 67,000කට පමණ ආරක්ෂිත පානීය ජලය ලබා දීමට අපේක්ෂා කෙරෙනවා. බොහෝ ප්‍රජාවන් දිගු කලක් තිස්සේ නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම සඳහා අපගේ ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජපානය ස්ථාවර හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙම ව්‍යාපෘතිය විශාල සංකේතාත්මක වැදගත්කමක් දරනවා. ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු ජපානයෙන් ලබා දුන් සහනදායී ණයකින් මූල්‍යකරණය වන මෙම ව්‍යාපෘතිය යම් කාලයකට අත්හිටුවීමට සිදු වූ බව සත්‍යයක්. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අපගේ වැදගත් හවුල්කරුවෙකු බැවින්, ජපානය ඉන්දියාව සහ ප්‍රංශය සමඟ එක්ව රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවන්ට මග පෑදූ නිල ණය හිමියන්ගේ කමිටුවට නායකත්වය ලබා දුන්නා.
එම කමිටුව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ වහාම, 2024 ජූලි මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා වන මුදල් නිකුත් කිරීම ඇතුළුව, ක්‍රියාත්මක වෙමින් පවතින සහනදායී ණය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට තීරණය කළ පළමු රට ජපානයයි.
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවට විශ්වාසය දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින මෙම සහනදායී ණය ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා. එබැවින්, මෙම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ කටයුතු සාර්ථකව සිදුවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා . රජයේ ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර වී තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට ස්ථාවර වර්ධනයක් කරා නැවත ගමන් කිරීමේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතිනවා. විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙමින් සිටිනවා” KAMOSHIDA Naoaki මහතා කියා සිටියා