ශ්රී ලංකාවේ ආර්ථික ගමනේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, දශක 5කට අධික කාලයකට පසුව මෙරට ඉතිහාසයේ පෙරළිකාර ආර්ථික ජයග්රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව 1970 වසරෙන් පසු පළමු වතාවට රජයක් අය වැය අතිරික්තයක් වාර්තා කර ඇත.
2026 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ රුපියල් බිලියන 197.3ක අය වැය අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත්ව ඇත. මෙය 2025 වසරේ එම කාලවකවානුවට සාපේක්ෂව දැවැන්ත දියුණුවකි.
පසුගිය වසරට සාපේක්ෂව රාජ්ය ආදායම 30.6%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,536.9ක් දක්වා වර්ධනය වී තිබේ. බදු මෙන්ම බදු නොවන ආදායම් ද මෙලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
2021 වසරේදී -11.7%ක් ලෙස සටහන් වූ අය වැය හිඟය ක්රමානුකූලව අඩු කරමින්, 2026 වන විට මෙවැනි ජයග්රාහී මට්ටමකට පැමිණීම රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන්නකි.
කාර්මික නිෂ්පාදන 1.6%කින් ද, ඇඟලුම් නිෂ්පාදන 5.8%කින් ද, ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන 16.7%කින් ද වර්ධනය වී ඇති අතර කොටස් වෙළඳපොළ ද ඉතා හොඳ ප්රගතියක් පෙන්වා ඇත.
මෙම ආර්ථික ශක්තිමත්භාවය හේතුවෙන් ඉදිරියේදී ණය සේවාකරණය (ණය ගෙවීම්) සඳහා රටට විශාල සහනයක් හිමිවන අතර, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීමට වැඩි මුදලක් ඉතිරි වේ. එමෙන්ම උද්ධමනය ද අඩු අගයක පවත්වා ගනිමින් ජනතාවට සෘජු සහන සැලසීමට මේ හරහා අවස්ථාව උදාවේ.