Air Bus වංචාව අල්ලන්න අල්ලස් කොමිසම නිමල් පෙරේරා සොයා ඕස්ට්‍රේලියාවට

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 20ක (මිලියන 2ක) අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.

මෙම ගනුදෙනුවට අදාළ අල්ලස් මුදල් හුවමාරු වූ බවට සැක කෙරෙන බැංකු ගිණුම් හිමිකරුවන් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සැකකරුවන් මෙන්ම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

අදාළ අල්ලස් මුදල් ප්‍රේෂණය වූ බැංකු ගිණුමක හිමිකරුවකු ලෙස සැලකෙන නිමල් පෙරේරා  ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී දිවංගත කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද රාජපක්ෂ යන සැකකරුවන් ද මේ වන විට විදේශගතව සිටිති.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් දැනටමත් වරෙන්තු නිකුත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, රහස් පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක් ගොනු කර තිබේ.

විදේශ රටක ව්‍යාජ සමාගමක් පිහිටුවා, ප්‍රකට යුරෝපීය සිවිල් ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන EADS (European Aeronautic Defence and Space company) වෙතින් ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *