බිලියන 40ක ආයෝජනයෙන් මහියංගණයට මෙගාවොට් 40ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරිම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින්, මහියංගනය ග්‍රිඩ් උපපොළ ආසන්නයේ 40MWh බැටරි බලශක්ති ගබඩා පද්ධතියක (Battery Energy Storage System – BESS) ඉදිකිරීම් කටයුතු මේ දිනවල ඉතා වේගයෙන් සිදු කෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ පළමු වාණිජ මට්ටමේ BESS ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කෙරෙන මෙම නවීන තාක්ෂණික පද්ධතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහ රවීන්ඳ්‍ර බණ්ඩාර මහතා ජුනි 21 දි සිදු කෙරිණි.

රුපියල් බිලියන 40 ක දැවැන්ත ආයෝජනයකින් ක්‍රියාත්මක වන මෙම ජාතික ව්‍යාපෘතිය, පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ ස්ථාවර, කාර්යක්ෂම සහ නවීන විදුලි පද්ධතියක් ගොඩනැගීම සඳහා තබන ලද විප්ලවීය පියවරක් වන අතර 2026 වසර අවසන් වීමට පෙර මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය මහියංගණයට පමණක් සීමා නොවන්නක් වන අතර, මෙවැනි 40MWh බැටරි පද්ධති 16ක් දිවයින පුරා ස්ථාපිත කෙරෙමින් පවතී. එමගින් සමස්තයක් ලෙස මෙගාවොට් පැය 640ක (640MWh) BESS පද්ධතියක් පූර්ණ ලෙස ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය. මීට අමතරව තවත් 1000MWh බැටරි ගබඩා පද්ධතියක් සඳහා ද මේ වන විට ප්‍රසම්පාදන කටයුතු (Procurement) වේගවත්ව සිදු කෙරෙමින් පවතින බැවින් මෙය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයකට මග පාදනු ඇත.

BESS තාක්ෂණය ඔස්සේ දිවා කාලයේ ජනනය වන සූර්ය විදුලිය (Solar Power) ආරක්ෂිතව ගබඩා කරගෙන, විදුලි ඉල්ලුම උපරිම වන රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වේ. මෙමගින් රාත්‍රී කාලයේදී අධික පිරිවැයක් දරා ඩීසල් මගින් විදුලිය ජනනය කිරීම විශාල ලෙස පාලනය කරගත හැකි වනු ඇත. එමෙන්ම, පුනර්ජනනීය බලශක්ති භාවිතයේදී පද්ධතියේ සිදුවන ක්ෂණික වෙනස්වීම් පාලනය කරමින් ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායීතාව (Grid Stability) උසස් මට්ටමකින් පවත්වා ගැනීමට ද මෙම පද්ධතිය සෘජුවම උපකාරී වේ.

image 1 Iri News
image 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *