රජය විසින් නියම කර ඇති උපරිම පාලන මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල, කරඳගොල්ල ප්රදේශයේ පිහිටි ෆියුචර් ලයිෆ් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් (Future Life Hotels and Resorts (Pvt) Ltd) ආයතනයට රුපියල් මිලියනයක (ලක්ෂ 10 ක) දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) බදුල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 ජූලි 10 වනදා සිදුකළ වැටලීමකදී, අදාළ හෝටලය විසින් පාලන මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ ප්රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට අධිකාරිය පියවර ගත් අතර, ජූලි 22 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ හෝටල් සමාගම වරද පිළිගෙන තිබේ.
ඒ අනුව, බණ්ඩාරවෙල මහේස්ත්රාත්වරයා විසින් හෝටල් සමාගමට රුපියල් මිලියනයක දඩයක් නියම කරන ලදී.
පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන හෝටල්, ආපනශාලා සහ අනෙකුත් වෙළෙඳ ආයතන පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය වෙත තොරතුරු දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.