එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිංග්ස් (S&P Global Ratings) ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන විදේශීය හා දේශීය මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ ලෙස තහවුරු කර තිබේ.
ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ මූල්‍ය ඒකාබද්ධතාවයට සහාය වන තත්ත්වයන් අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව S&P සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, බාහිර ඉල්ලුම් පීඩන, උද්ධමන අවදානම් සහ අභියෝගාත්මක මූල්‍යකරණ තත්ත්වයන් ඇතුළු සැලකිය යුතු අවදානම් තවදුරටත් පවතින බවට එම ආයතනය අනතුරු අඟවා තිබේ.
මේ අතර, අරමුදල් රටින් පිටතට මාරු කිරීම සහ විදේශ විනිමය බවට පරිවර්තනය කිරීම සම්බන්ධ අවදානම් තක්සේරුවේ දියුණුවක් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ Transfer and Convertibility Assessment ශ්‍රේණිය ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇත.
‘CCC+’ ණය ශ්‍රේණිය මඟින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය තවදුරටත් අවදානම් සහිත මට්ටමක පවතින බව පෙන්නුම් කරන අතර, රටේ මූල්‍ය වගකීම් ඉටු කිරීමේ හැකියාව හිතකර ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් මත රඳා පවතින බව S&P පවසයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය ආසන්න කාලීන මූල්‍ය හෝ ගෙවීම් අර්බුදයකට මුහුණ දී නොමැති බවද එම ආයතනය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉහළ මහජන ණය බර තවදුරටත් ප්‍රධාන අභියෝගයක් වන අතර, රජයේ පොලී ගෙවීම් රාජ්‍ය ආදායමෙන් සියයට 45කට පමණ සමාන වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
2025 අගභාගයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය ඇතුළු බාහිර කම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර හා මූල්‍ය ශේෂයන් මත තාවකාලික පීඩනයක් ඇති වූ බවද S&P පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, නිල මූල්‍ය ආධාර, අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිය මූල්‍ය අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමටත්, මූල්‍ය හා බාහිර තත්ත්වයන් තවදුරටත් වැඩිදියුණු කර ගැනීමටත් හැකි වනු ඇතැයි S&P අපේක්ෂා කරයි.
එහෙත්, අපේක්ෂිත මට්ටමට වඩා දුර්වල මූල්‍ය හෝ බාහිර කාර්ය සාධනයක් හෝ නව අරමුදල් හා ද්‍රවශීලතා පීඩන ඇති වුවහොත්, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීමට ඉඩ ඇති බවට S&P ග්ලෝබල් රේටිංග්ස් අනතුරු අඟවා තිබේ.