කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම මඟින් රජයට රුපියල් ලක්ෂ 260කට අධික මූල්‍ය පාඩුවක් කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම කොළඹ, ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාට ඊයේ (28) දැනුම් දුන්නේය. මෝසමක් මාර්ගයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම කරුණු දක්වමින්, මෙම චෝදනාවේ පළමු සැකකරු වන ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය චෝදනාවෙන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේය.
දෙවන සැකකරු වන රාජිත සේනාරත්න යන අයට පමණක් මේ මස 31දා අංක 10 හෝ 11 මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද පැවසීය. එහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් විමසා සිටියේ එදිනට අධිචෝදනා කැඳවනවාද යන්නයි. එහිදී අල්ලස් කොමිසම, එදිනට අධිචෝදනා ගොනු කිරීම පමණක් කරන බව පැවසීය. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිචෝදනා ගොනු කර ඒ බව අධිකරණයට දන්වන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළ අතර පළමු සැකකරු චෝදනාවෙන් නිදහස් කළේය.
නඩුකරය දෙසැම්බර් 4දා යළි කැඳවීමට නියමිතය.