ජාතික විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ පියවරක් ලෙස, කෙරවලපිටිය ජාල උපපොළේ සිට කොළඹ වරාය ජාල උපපොළ දක්වා දිවෙන දෙවන 220kV යටිබිම් විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ ඉදි කිරීම් කටයුතු අද (06) නිල වශයෙන් ආරම්භ විය.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ජාල උපපොළ පරිශ්‍රයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ඩොලර් මිලියන 52ක ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට කෙරවලපිටිය සහ කොළඹ වරාය අතර කිලෝමීටර් 16ක යටිබිම් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම, අදාළ උපපොළවල් නවීකරණය කිරීම සහ පාලන පද්ධති සවි කිරීම ඇතුළත් වේ.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2019 වසරේදී ස්ථාපිත කරන ලද දැනට පවතින සම්ප්‍රේෂණ මාර්ගය කොළඹ වරාය නගරය (Port City) ඇතුළු ප්‍රදේශයේ නැඟී එන විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බවයි. මෙම නව සම්ප්‍රේෂණ මාර්ගය මගින් විදුලි පද්ධතියේ විශ්වාසනීයත්වය ඉහළ යන අතර හදිසි බිඳවැටීමකදී හෝ නඩත්තු කටයුතුවලදී විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට විකල්ප මාර්ගයක් හිමිවන බවද ඔහු පැවසීය.
මීට අමතරව කෙරවලපිටිය එල්.එන්.ජී. (LNG) විදුලි බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමටත්, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් උත්පාදනය කෙරෙන පුනර්ජනනීය බලශක්තිය සම්ප්‍රේෂණය කිරීමටත් මෙම ව්‍යාපෘතිය මගින් මහෝපකාරයක් ලැබෙනු ඇත.
මෙය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත National Transmission Network Service Provider (NTNSP) සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පළමු සම්ප්‍රේෂණ පද්ධති ව්‍යාපෘතියයි.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, NTNSP සභාපති නුෂිත් කුමාරතුංග සහ එහි ප්‍රධාන විධායක නිලධාරී නන්දන වෙන්කටසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.