ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අනුබද්ධිත ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit) පෞද්ගලික සමාගමේ මහජන ප්‍රවාහන මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සහ ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1කට අධික හිමිකාරීත්ව ප්‍රාග්ධනයක් (Equity Capital) ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ අරමුණින් 2025 ඔක්තෝබර් 03 වන දින මෙම සමාගම පිහිටුවන ලදී. “Clean Sri Lanka” වැඩසටහන යටතේ ගෙන්වන ලද පහත් පතුල සහිත (Low-floor) බස් රථ 10ක් යොදාගනිමින් කොළඹ නගරය තුළ ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය සාර්ථක වෙමින් මහජන ප්‍රසාදයට ලක්වීම මෙන්ම එහි වාණිජමය පැවැත්ම තහවුරු වීම මත මෙම ව්‍යාප්ත කිරීම සිදුකෙරේ.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට තවත් පහත් පතුල සහිත නව බස් රථ 112ක් ධාවනයට එක්කිරීමට සමාගම සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් නැංවීම සඳහා පූර්ණ පහසුකම් සහිත මධ්‍යම වැඩපොළක් මෙන්ම කළංගම, කඩවත, රත්නපුර සහ හෝමාගම යන ප්‍රදේශවල නවීන බස් ඩිපෝ, අභ්‍යන්තර මාර්ග සහ බස් නැවැත්වීමේ පරිශ්‍ර සංවර්ධනය කිරීමට නියමිතය.