ආණ්ඩුවේ අවශ්‍යතාවයන්ට අනුව අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතා පරමාධිපත්‍යයට බලපෑම් වන ආකාරයෙන් වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ආණ්ඩුවට අවශ්‍ය අවස්ථාවලදී නීතිය සහ බලය තමන්ට අවශ්‍ය ආකාරයෙන් භාවිත කරමින් කටයුතු කිරීම සුදුසු නොවන බවයි.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය සිහිපත් කරමින් ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළේ එවකට මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් බලය භාවිත කර එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට හැකියාව තිබූ බවයි.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සඳහා ජනතාව විසින් ජනවරමක් ලබාදී නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.
“මේගොල්ලන්ගේ මැනිෆෙස්ටෝ එකේ තිබුණෙත් නෑ. මේ මිනිසුන්ගේ කාලය දීර්ඝ කරනවා කියලා. ඒකට බලයක් කවුරුත් දුන්නේ නෑ” යනුවෙන් ඔහු පැවසුවා.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශ්වවලට අවස්ථාව ලබාදිය යුතු බවද ප්‍රසන්න රණවීර මහතා අවධාරණය කළා.
එමෙන්ම වත්මන් තත්ත්වයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින නමුත්, අදාළ නඩු විභාග කිරීම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු පිළිබඳව නීතිඥවරුන්ගේ අදහස් විමසිය යුතු බවද ඔහු සඳහන් කළා.
මේ අතර, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සඳහන් කරමින් ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ ජනතාව තවමත් නිසි අවබෝධයක් ලබාගෙන නොමැති බවයි.
වත්මන් ආණ්ඩුව මහා සංඝරත්නයට පවා ගරු නොකරමින් ඒකාධිපති ස්වභාවයකින් කටයුතු කරන තත්ත්වයකට පත්ව ඇති බවටද ඔහු චෝදනා කළා.
මේ අතර තම පක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන හෝ සිරගත කර දේශපාලන මර්දනයක් සිදු කළහොත් ඉන් පක්ෂය අඩපණ කළ නොහැකි බවද ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළා.
ඔහු පැවසුවේ දස දෙනෙකු, විසි දෙනෙකු හෝ සිය දෙනෙකු සිරගත කළද ඔවුන් වෙනුවට තවත් පිරිසක් ඉදිරියට පැමිණ පක්ෂය යළි ගොඩනගන බවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ම වත්මන් ආණ්ඩුවට එරෙහි දේශපාලන සටන ආරම්භ කරන බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ, ලාල් කාන්ත අමාත්‍යවරයාගේ සහ වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශවලින් එම සටන ඉදිරියට ගෙන යන බවත් ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළා.