ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 2028 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කර ගැනීමට අපොහොසත් වුවහොත්, රට නැවතත් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ දැඩි අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවයි.
හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ “යුද දෙකකට උර දී” කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, 2028න් පසු විදෙස් ණය නැවත ගෙවීම ආරම්භ වන විට රට මුහුණ දෙන මීළඟ ප්‍රධාන අභියෝගය එය බවයි.
2028න් පසු එළඹෙන මෙම අභියෝගය ශ්‍රී ලංකාව මුහුණ දෙන “තුන්වන යුද්ධය” ලෙස හැඳින්වූ හිටපු ජනාධිපතිවරයා, “අපට එම යුද්ධය ජය ගැනීමට නොහැකි වුවහොත් අප වැටෙන්නේ දැඩි අමාරුවක” යැයි වැඩිදුරටත් අවධාරණය කළේය.