ලබන ජනවාරි මාසයේ සිට ශ්‍රි ලංකා පොලිසියට නව නිල ඇදුමක් එයි

ලබන ජනවාරි වන වන විට පොලිසියට නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බවද එමෙන්ම පෙනුමට සීමා නොවී පොලිස් සේවයේ ගුණාත්මක වර්ධනයන් ඇති කිරීමට කටයුතු කරන බවද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ පසුගියදා රූපවාහිනී නාලිකාවක පැවැත්වූ වැඩසටහනකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පොලීසිය දේශපාලනීකරණයෙන් නිදහස් කරලා තියෙනවා. ඔවුන්ට නිදහසේ විමර්ශන ක්‍රියාවලිය කරගෙන යන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා තියෙනවා, පහසුකම් සකස් කරලා දීලා තියෙනවා.

හැබැයි අපි කිසිලෙසකත් පොලිස් හැටියට අපි පාතාල ක්‍රියාකාරකයන්ගේ දුරකථන ඇමතුම්වලට හෝ වෙනත් තර්ජනවලට කිසිසේත්ම බියට පත් වෙන්නේ නැහැ. නිලධාරීන් ඉතාම ධෛර්යසම්පන්නව මේ කාර්යයේ යෙදෙමින් ඉන්නවා.

සමස්තයක් හැටියට පොලිස් දෙපාර්තමේන්තුව සක්‍රීයව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස්පතිවරයා දක්වා සියලුම ශ්‍රේණීන් මේ සඳහා කැපවෙමින් කටයුතු කරනවා. නිලධාරීන්ගේ හිඟයකුත් කළමනාකරණය කරගනිමින් මේ සියලු කාර්යයන් වෙනුවෙන් මැදිහත්වීමක් කරනවා.

ඒ සියලු පුරප්පාඩු පුරවන්න අවශ්‍ය පියවර අරගෙන, මේ වසරේ 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට 6,000ක් පමණ පිරිසක් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරලා තියෙනවා.

පොලීසියේ යම් යම් අඩුපාඩු ප්‍රමාණයක් තිබුණා, ඒවා වැළැක්වීම සඳහා පියවර ගන්න අවශ්‍යයි. ඔවුන්ටම ආවේණික වැටුප් ව්‍යුහයක් සකස් කරන්න මේ වෙනකොට අපි අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අරන්, ඒ සඳහා අනුකමිටුවක් දාලා තියෙනවා පොලිස් සේවාව සඳහා වූ වැටුප් ව්‍යුහයක් සකස් කරන්න.

ඒ වගේම අපි අවධානය යොමු කරලා තියෙනවා ඔවුන්ට අවදානම් දීමනාවක් ලබා දිය යුතුයි කියන අදහසේ ඉන්නවා. ඒ වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා ගරු ජනාධිපතිතුමා වෙත.

ඒ වගේම ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම්, ඒ වගේම අපි දැන් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා ශ්‍රී ලංකා පොලිස් සේවයට නව නිල ඇඳුමක් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. එය අනිවාර්යයෙන්ම එනවා. මේ වෙනකොට සේවයේ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින්, ඔවුන්ගේත් අදහස් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අපි උත්සාහ කරනවා ලබන ජනවාරි, පෙබරවාරි වෙනකොට ප්‍රතිරූපයේ වෙනසක් ඇති කරන්න.

මන් කියන්නේ බාහිර පෙනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගුණාත්මක වර්ධනයන් පොලිස් සේවාව තුළ ඇති කරන්න ඕනේ. ඒ ඇති කිරීම සඳහා අපි පියවර රාශියක් අරන් තියෙන අතරතුර, මේ කාර්යයත් මේකට බද්ධ වෙලා, මිත්‍රශීලී පොලිස් සේවාවක්, හොඳ මහජන සබඳතාවයක් සහිත පොලිස් සේවාවක් සමාජයට අවශ්‍යයි. එවැනි පොලිස් සේවාවක් රට තුළ නිර්මාණය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *